ආදරේ සුන්දරද මෙතරම්

ඒ ලෙවල් වලින් පස්සේ.. අපිට හිතුනේ අපරාදේ ඒ ලෙවල් කලේ කියලා. ඒත් දැං කරලා ඉවරයිනෙ. මම හිතන්නේ ඊට පස්සෙ තමයි අපි පොලොවෙ පය ගහන්න ඉගෙන ගන්නේ. ජීවිතේ වගකීම් ගොඩක් කියලා තේරුම් ගන්නේ. ඒත් ඒ ලෙවල් වලින් පස්සේ මුල් මාස් දෙක තුන නම් එච්චර දෙයක් තිබ්බේ නෑ හිතේ. අර එදා වගේ අදත් අපේ හිතේ තිබ්බ එකම ආසාව දඟලන්න. ඔය එක එක පන්ති වලටත් යන්න ගත්තා.... කොම්පුටර් කියයි, ස්පෝකන් ඉන්ග්ලිශ් කියයි, අරක කියයි මේක කියයි. ඒ අතරතුර අපි ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු චරිත එක්ක, පොත් පත් එක්කත් අපේ ජීවිත ගොඩ නගා ගන්න උත්සහ ගත්තා. වස්සාන සිහිනය කියවලා කසුන්ට ආදරේ නොකරපු කෙල්ලෙක් හොයා ගන්න ඉන්නවද? සුලඟ වගේ ඇවිදින් කියවලා අරුණි අක්කට ආදරේ නොකරපු කොල්ලෙක් ඉන්නවද? අපි අපේ හීන ලෝක වල ජීවත් උනා. ආදරේ කියන්නේ පොත් පත් වලින් ගෙනාපු මනඃකල්පිත හැගීම් ගොන්නක් කියලා අපි තේරුම් ගන්න උත්සහ කලේ නෑ. අන්න ඒකයි මම හිතන්නේ ඒ වයසෙ වැරැද්ද. ආදරේ අපේ හිත් වලටත් හොරාම එන්න ගත්තා. මාරයි කියන්නේ මට වගේම අරෝටත්. අපිට සිද්ධ උන ගොඩාක් දේවල් සිද්ධ උනේ එකම කාලේ. ඕකට වෙන්න ඇති කියන්නේ සංසාරික බැඳීම් කියලා. ඒත් හිත් වල ගොඩ නැඟුණු මොකද්ද මෙව්වා එක මුලින්ම කිව්වේ මම නෙවෙයි අරෝ...
" උඹට බඩ්ඩක් කියන්න තරහ වෙන්නේ නැද්ද?" දවසක් අපි දෙන්න ක්ලාස් එක ඇරිලා එද්දි අරෝ මගේ අතින් අල්ලගෙන කිව්වා. " මොකද්ද බං ඒ, උඹ කියන දේකට මට තරහ යන?" මම එදා පුදුම උනා. මට මල පනිනවා අඩුයි. ඒක මටත් වඩා අරෝ දැනගෙන හිටියා. හැබැයි එදා අරෝ නම් මාරම මාර සීරියස්. " නදීශ මට කාර්ඩ් එකක් එවලා තිබ්බා" මේකිට නදීශ එව්ව කාඩ් එක මොකද්ද? යකෝ මේකිටවත් නදීශටවත් කාඩ් එකක් තියන එකක්යැ හුවමාරු කර ගන්න. මට පැහැදිලි උනේ නෑ. " කාඩ් එකක් ඒ මොකටද බං" අරෝ රතු වෙලා මට ඒක තේරෙනවා. උපතින්ම එයා සුදු නිසා මූන රතු , නිල, දම් වෙනවා හොඳට පේනවා. " ඒක මටත් හිතා ගන්න බෑ..... I Miss You.... කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. බලපං බං.. හොඳ වෙලාවට මම එදා ලියුම් ගත්තේ අම්මා එහෙම ගත්තානම් කඩලා බලනවා... එහෙම උනානං වහ කන්න වෙන්නේ" මේකි කියන එක ඇත්ත... ඒත් නදියා මෙහෙම කාඩ් එවන්න හේතුව මොකද්ද? මට නොතේරුණාම නෙවෙයි ඒත් අර මොකද්ද එකට මට අරෝගෙ කටින්ම ඒ වචනේ ගන්න උවමනාව තිබුණා. " කෝල් එකක් දීලා බැනපංකො පිස්සු වැඩ කරන්න එපා කියලා" අරෝ මගෙ දිහා බැලුවේ අමුතු විදියකට හරියට මේකිට මේකවත් තේරෙන්නේ නැද්ද කියලා අහනවා වගේ " අනේ ඒ මොකටද බනින්නේ... මම හොරෙන් කෝල් එකක් දුන්නා... එතකොට කිව්ව හම්බ වෙන්න ඕනෙ කියලා මෙතනට එනවා කිව්වා 11 වෙනකොට" ඇත්තම නේන්නම් තාම අපි මේ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. මම අහක බලං හිනා උනා... බඩුම තම්යි. අපිටත් අමරණිය වෙන්න පුළුවං කසුන් චාපා වගේ. අපිට කිව්වේ අපේ උන් දෙන්නෙකුට. එතකෝට මම සපෝටර්ද? අර තේමියට ක්‍රිශායි මාටයායි හිටයා වගේ. එළ එළ.... " සුමා දන්නවද?" මම හෙමින් අරෝ දිහා බැලුවේ එන යන බස් අතුලට ඇහැ දාගෙන මාලුවා ගොඩට ගත්තා වගේ නොඉවසිල්ලෙන් ඉන්න වෙලාවක. " අපෝ නෑ... ඒකිට දැම්ම කියන්න එපා... තාම මම හරියට දන්නේ නෑනෙ මොකද්ද සීන් එක කියලා. අනික පොඩ්ඩක් ආඩම්බර වෙන්නත් ඕනෙ ඕවට ආවොත්.... පැනපු ගමන් කැමැත්ත දෙන්න හොඳ නෑ" ඕක තමයි ගෑනු ගතිය... අර බොක්කටම වැදිලා හතර ගාතෙන් එන කොල්ලාව වටේ යවනවා. ඒත් සාම්ප්‍රදායික ගෑනු ආත්මෙකින් මිදෙන්න මම හිතන්නේ නෑ අපිට පුළුවං කියලා මොන බණ කිව්වත්. කොච්චර රබර් ඇහැ දාගෙන හිටියත් නදීශ බස් එකෙන් බහිනා දැක්කේ මම "අන්න එනවා.... චමතුත් ඉන්නවාද කොහෙද?" උන් දෙන්නා අර සිංදුයි බිංදියි වගේ... කොහෙ ගියත් එකට. මම හිතන්නේ කාන්දම් බලයක් තියනවා. " ගොඩාක් වෙලාද ඇවිත්...." චමත් කතා කලා. අරුං දෙන්නා නෝ කතා නෝ සිනා " අපි නම් ටිකක් වෙලා.... " ඉතිං මමවත් කතා කරන්න ඕනෙනෙ..." එහෙනම් නදියා අපි යමුද?" චමත් නදීශ දිහා බැලුවේ අර මොනාද වෙලා වගේ ඌ ඒ පැත්ත පලාතෙම තියන බිල්ඩින්, වාහන බල බලා සික් එකේ ඉන්න වෙලාවෙ. නඳිශ එකඟ උනා." අපි ඉස්සරහට ඇවිදින්න පටන් ගත්තා...මෙතන කතා කරන්නේ මමයි චමතුයි විතරයි. අරුන් දෙන්නා හැසිරෙන්නේ කවදාවත් දැකලා නැති උන් වගේ " ඇත්තටම චමත් අරුන් දෙන්නාට මොකද වෙලා තියෙන්නේ....?" "මටත් හිතා ගන්න බෑ බං... අර මොකද්ද එකක් දැකලා වගේ කටේ පුස් කාපු පාන් පුරෝගෙන වගේ මූණවල් බලන්නේත් නැතුව මොන නාඩගමක් නටනවාද කියලා" මට නිකමට හිතුණා චමත් මොකුත් දන්නේ නැද්ද කියලා.ඒත් නොදැන ඉන්න විදියක් නම් නෑ " අරෝ පාරෙ නෙවෙයි යන්නේ තණකොල අස්සේන්. කානු උඩින්.... අනේ මන්දා මේ ආදරේ කියන්නේ ලෙඩක්. මම දන්නේ නැද්ද අරෝ මොන බයි ලා කිව්වත්. එක පාරටම මම දැක්ක අරෝ බිම බලාගෙන යන්න ගිහින් නවත්තලා තිබූණු කාර් එකකත් ඩාං ගාලා හැප්පෙනවා. මම විතරක් නෙවෙයි චමතුත් දැකලා " ඕයි අරෝ.... නවත්තපුවට පැන්නට මැරෙන්නේ නෑ බං. අර පාරෙ යන එකකට පැනපං" මටත් හිනා... අරෝත් රතු වෙලා නදීශටත් ඒ පාර නම් හිනාවක් ගියා.

කැමැත්තට පෙර අකැමැත්ත ගැන මම පස්සේ ලියන්නම්

0 comments:

Post a Comment