අපේ අලුත් පංතිය

සුන්දරම කාලය ආරම්භ උනේ ඒ ලෙවල් වලින්.... හරියට අර පුංචි කාලෙ එකට එකතු වෙලා කෝම්පිට්ටු හදනවා වගේ.. කියාගන්න බැරි තරම් සමඟියක් එක්ක ඒ ලෙවල් වලට අවුරුදු දෙකක් ඉගෙන ගන්න බලපොරොත්තුවෙන් අපේ පන්තියට අඩිය තිබ්බා. අනේ මන්දා වෙනදා නොදැනුන අපේ කමක් දැනුනා ඒ දවසේ. දවසෙන් දවස නාකි වෙද්දි එහෙම තමයි. දාල යන්න වෙනව කියල හිතද්දි එහෙම තමයි. මමයි අරොයි සුමයි එක ලඟ මේස තුනක් එකතු කර ගත්තා. අම්මේ ... දූවිලි.... මකුලුවෝ බංගලා ගහල මේස යට. අපේ පංතියේ අපේ ඩෙස් පේලියේ අපි තුන් දෙනා ඉඳගත්තා. අරෝ මටයි සුමාටයි එක ලඟ ඉඳගන්න දුන්නේ නැත්තේ ඊරිසියාවට නෙවෙයි, ඒ අපි දෙන්නා එකට හිටියොත් පංතියේ එකෙකුටවත් ඉගෙන ගන්න වෙන්නේ නැති නිසා. ඒත් අපි හොඳ ළමයිනෙ... එදා ඒක අරෝට තේරෙන්න නැතුව ඇති. අපේ ඩෙස් තුනට තව එක ඩෙස් එකක් වැඩිපුර තිබ්බා. ඒකෙ කවුරුත් හිටියේ නෑ. පංතියට එන උන් දිහා අපි තුන් දෙනාම හොරෙන් බැලුවේ මොකා අවිල්ල එතන ඉඳගනීද කියලා. තාම කවුරුත් ආවෙ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න ඔන්න මෙන්න තියලා හදිස්සියේ පිස්සු හැදිලා වගේ දුවගෙන ආව මැන්ටලයක් අපෙන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එතන එයාගෙ වගේ වාඩි උනා. අපි තුන් දෙනා මූණට මූණ බලාගත්තා. ඒත් අපි හොඳයි. අපි නෑනෙ ඔය රණ්ඩු වලට. අපේ පංතියේ පන්ති භාරව හිටියේ හුරුබුහුටි මිස් කෙනෙක් දැක්කාම හිත පැහැදෙනවා. අපි පැහැදිලිවම කලාව රසවින්ඳා. මිස් හරිම රසවත්.. ඒ වගේම ළමයි එක්ක යාලුවෙක් වගේ කතා කරනවා. එහෙම මිස් කෙනෙක් දකින්නත් ආසයි. ඉතිං අපි සෑහෙන්න පැහැදුනත්. අහන්නේ බලන්නේ නැතුව අපි හදා ගත්ත ඩෙස් එක අයිති කර ගත්ත මේ භූත ආත්මෙ ගැන අපි තුන්දෙනාම හිටියේ අම්බානක තරහින්. මිස් ගිය ගමන් අරෝ අර අපි අතරට ආව අලුත් හොල්මන දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. කිසි හැල හොල්මනක් නෑ. " උඹට මතකද මේකි අපේ පංතියක හිටියා. මම හිතන්නේ 8" අරෝ මගේ දිහා බැලුවා. මමත් හොඳට රබර් ඇහැ දැම්මා. "ඔව්මයි... මේ අර ප්‍රජනනය පාඩම කරද්දි කලන්තේ දැම්ම සමයමනේ" සුමා හෝ ගාල හිනා වෙනවා. අපිටත් හිනා. " පව් බං ඔන්න ඔහේ හිටපුදෙන්. අපි වගේම පිස්සු කේස් එකක්ද කොහෙද? ඒකිට මේ පංතියේ යාළුවෝ නැතුව ඇති." මම අරෝට කිව්ව නිසා අරෝ එයාට මොකුත් කියන්න ගියේ නෑ. ඒත් සුමා ලඟම එයා හිටපු නිසා. සුමා එයා පැත්තට හැරුනා. " මම මේ අහන්නමයි හිටියේ.. ඩෙස් වල දූවිලි කාලා හදලා එහෙම තිබ්බාට පස්සේ ඉඳගන්න හරි ලේසියි නේද?" එයා අපි ඔක්කොම දිහා බැලුවා...." අනේ සොරි... මෙතන වෙන කවුරු හරි ඉන්නවද? මම වෙන තැනකට යන්නම්. අද පොඩ්ඩක් පරක්කු උණානෙ එන්න... පංතිය දන්නේ නැතුව මම උඩ පංතියකත් ටිකක් වෙලා හිටියා"මෙන්න මේකි කියාගෙන කියාගෙන යනවා. පව් කියලත් හිතුනා. මේකිට අපිටත් වඩා පිස්සු වගේ. " නෑ නෑ මෙතන කවුරුත් නෑ ඉන්න පුලුවන් ඒත් අපි ඔයාට කවුරු කියලද කතා කරන්න ඕනෙ." ආයේ ප්‍රශ්න වටය සුමා පටන් ගත්තා. " මම සෙනුජනා.. ඔයාලා" මූණෙ හැටියට නම නම් මාර පොෂ්.... දිව උලුක් වෙන නමක් අනික. ඕක දිගටම කියන්න උණොත් දිව හැපිලා හැපිලා දිවක් හොයා ගන්න නැති වෙනවා. කොහොම හරි සෙනුජනා කෙටි කරලා ටික කාලයක් යද්දි 'සෙනු' කියන නම එයාටත් රෙජිස්ටර් උනා. මුලින් මුලින් අපේ කැමැත්තක් නොතිබුනත් පසුවට සෙනු අපේ වගේ උනා. හැබැයි තාමත් ටිකක් දුරින්.

කලා උලෙල ගැන මම පස්සේ ලියන්නම්

2 comments:

Gihan said...

ඒත් අපි හොඳයි. අපි නෑනෙ ඔය රණ්ඩු වලට.

දුල්හරි ඉලංගකෝන් said...

api honda lamai thamai ei sakada?

Post a Comment