සිංහ වංශය

9 වසර කියන්නේ හිරිමල් වයස.... අර අට්ටෙන් පොත්තෙන් තේරෙන වයස. වයසින් නැතත් හිතෙන් මහ ලොකුයි කියල හිතන වයස. ඔය කාලෙ තමයි ජීවිතේ එක එක පරීක්ෂණ.... නිරීක්ෂණ.... නිගමන කරන්න බලන්නේ. අත්දැකීම් එකතු කරන අමුතු අමුතු සොයාගැනීම් කරන්නේ. අනේ මන්ද මේ කාලේ සොයා ගත්ත සොයාගැනීම් හැන හිතනකොටත් හිනා යනවා.ඔන්න හැමෝම වගේ අපිත් ජීවිතේ සොයන්න පටන් ගත්තා. පටන් ගැන්ම උනේ මෙච්චර කාලයක් කතා කරපු භාෂාව වෙනස් කරපු එක. පොඩි පංති වල(මේ දැං ලොකුයි කියනවා නෙවෙයි, ඒත් හිතන් ඉන්නේ එහෙමනේ) අපි එකිනෙකාට කතා කලේ ඔයා, එන්න, කන්න, යන්න, ගන්න.. වගෙ හරිම පිරිසිදු වචන වලින් ඒත් දැං අපි පටන් ගත්තා අලුත් වාග් ශෛලීයක්. උඹ, වරෙං, ගනිං, කාපං, පලයං. මොනා කරන්නද මේවා තමයි සොයා ගැනීම්. මටත් අපේ පංතියේ හීනයක් තිබ්බා අනිත් එවුන්ට වගේ කල්ලි ගැහෙන්න. මේ වෙනකොටත් අපේ පංතියේ කල්ලි ගොඩාක් හිටියා. බලන්න ආසාවේ බෑ. එකට කනව.. කෑ ගහනවා. හැමදේම එකටමයි. ඔය කල්ලි කෙරුවාව අත් හදා බලන්න මට තිබ්බේ මාර උණක්. ඒත් මගේ කල්ලියේ හිටියේ මමයි අරෝෂයි විතරයි( ඒ මගේ යාලුවා, අර ෆිට් එක). මම කීප සැරයක්ම අරෝෂාට කිව්වා ඒත් එයාගේ උනන්දුවක් තිබ්බේ නෑ. එයාට ඕනෙ වෙලා තිබ්බේ පංතියේ අර වැඩ කරු ගනේට වැටෙන්න. ඒත් මට ඕනෙ වෙලා තිබ්බේ යාලුවෝ ගොඩාක්. ඔන්න ඒ ගැන කනස්සල්ලේන් හිත් වේදනාවෙන් ඉන්නකොට සිංහල මිස් පංතියට ආවා. පීරියඩ්ස් දෙකක සිංහල පටන් ගන්න. පංතියේ එක එක්කෙනා කියවනවා. අපි අහන් ඉන්නවා. මිස් කියල දෙනවා... දිගටම ඔය රෝල තමයි යන්නේ. විනඩි දහයක් එක තැනක එක විදියකට ඉන්න බැරි මට, පැය එකාමරක් සිංහල පාඩම අහං ඉන්න එක මරනවා වගේ. ඒත් අමාරුවෙන් එහෙට මෙහෙට කැරකි කැරකි කල් මැරුවා... තාම ඉවරයක් නෑ දිගටම යනවා.... අරෝෂාට මම මිස් විදියට රඟපාල පෙන්නවා එයා හිනා වෙනවා... ඒත් මිස්ට පේන්නේ නැති වෙන්න... ඔහොම මගේ පාඩමත් ගානට ඇදගෙන යද්දි එක පාරට පංතිය දෙවනත් වෙන්න මිස් බෙරිහන් දුන්නා.... " ඔය පිටිපස්සේ පේළියේ මැද ඉන්න ළමයා නැඟිටිනවා...."...... මරේ මරු... පාඩම ඉවරයි දැං තමයි ජොලි මම පිටිපස්ස හැරිලා බැලුවා... මගෙ ඔලුවේ ඉඳං කකුල් දෙකටම සීතල උනා... පිටිපස්සේ පේලියේ මැද ඉඳලා තියෙන්නෙ මම.... මම නැගිට්ටා නෙවෙයි හිට ගැනුනා.... මිස් බනින්න පටන් ගත්තා... නොකිව්ව දෙයක් නෑ ඔක්කොම කියලා බැන්නා... මගේ ඇස් වලින් කඳුලු සට සට ගාල වටෙනවා... මතක ඇති කාලෙක අම්මගෙන් අරෙන්න බැනුම් අහනවාමයි.... මිස් බනිනවා... පංතියේ අය කන්න වගේ බලන් ඉන්නවා, මම අඬනවා.... ඔහොම තව පීරියඩ් එකක්ම ගියා.... බෙල් එකත් ටාං ටාං ගාලා වඳිනවා අහුනා. මිස් බැන බැනාම නැගිට්ටා... අනිතිමට මගේ මටවත් කීකරු නැති කොණ්ඩෙ දිහා බලලා බැනිල්ල ඉවර කලා..."හැටි විතරක් සිංහ පැටියා වගේ.." මිස් පංතියෙන් එළියට ගියා. මම හෝ ගාලා අඬනවා... මාව සනසන්න පංතියම වට වෙලා... ඔය අතර මගේ හීනෙත් හැබෑ උනා. කල්ලි සංස්කෘතිය. පංතියේ වැඩකරුවෝ වගේ හිටපු දෙතුන් දෙනෙක් මගේ සිංහ කොණ්ඩෙට පිං සිද්ද වෙන්න අපි දන්නත් එක්ක ෆිට් උනා. ඒත් මගේ කාඩ් එක සිංහ පැටියා... පංතියටම ඇහෙන්න මට කියන්න පුළුවං උනා මම සිංහ වංශයේ ..... ඔබ???? කියලා.

අපේ කල්ලියේ වැඩ ගැන මම පස්සේ ලියන්නම්

0 comments:

Post a Comment