තිරය ඇරෙනවා... තිරය වැහෙනවා...

කලා උළෙල කියන්නේ ආර්ට්ස් සෙක්ශන් එකේ වෙඩින් එක වගේ උත්සවයක්. ඉස්කෝලෙ ඉන්න ලොකු අක්කලා විදියට අපිට තිබ්බ වගකීම් නම් කියලා වැඩක් නෑ. ඒත් පච හලනවා ඇරෙන්න අපිට මහ ලොකු වැඩක් තිබ්බේත් නෑ. පහු ගිය ටිකේම වෙන වෙන ඉස්කෝල වල කලා උළෙල වලට යන්න උනේ මටයි, අරෝටයි සුමාටයි සෙනූටයි. ඉතිං ඒ අත්දැකීම් එක්ක අපේ කලා උළෙල එළට කරන්න නම් අපි සප් එක දුන්නා. කලා සංගමයේ අපිට ඔය පට්ටං නම් තිබ්බේ නෑ. හැබැයි රෑ දවල පන්ති පාඩු කරගෙන මාර ගේමක් දුන්නා අනික් ඒවට වඩා හොඳට කරන්න. ඔක්කොටම වඩා හොඳට අපි කරන්න හිතං හිටයේ අපේ නාට්‍යය.... මොකද අපේ ටැලන්ට් එක පෙන්නන්න තියන හොඳම මාධ්‍යය උණේ ඒක. නාට්‍යය ලිව්වේ මම. හිතා ගන්න පුළුවංනේ කොහොමද කියලා. අනික චාටර් නැතුව ආයේ වෙන ඉස්කෝලෙක කලා උළෙලකට යන්නත් ඕනෙ නිසා උපරිම වැහෙසින් අපි නාට්‍යය ප්‍රැක්ටිස් උණා. මාතෘකාව උනේ කලා විෂය කරලා කැම්පස් ගිහින් රස්සාවක් නැති වෙන එක. ශිඃ කියලා වැඩක් නෑ රැකියා විරහිත උපාධිදාරීන් හෝ ගාලා. සුමා ඒකේ ප්‍රධාන චරිතයක් කලා. අනේ මට ඉතිං ඔය සබකෝලෙ එක්ක මොකුත් කරන්න බෑ. මම වැඩිපුරම කලේ වැරදි හදන එක, ඇදුම් අන්දන එක. අනික මේක හොඳට කරන්න ඕනෙ කියන්නේ.... අපේ සිංහල ක්ලාස් එකේ අයියාලාත් එනවා අපේ කලා උළෙල බලන්න.
සුපුරුදු පරිදි කලා උළෙල පටන් ගත්තා.... ගානට අපේ වැඩ ටික කරගෙන එනවා..... මම ඉතිං ස්ටේජ් එක පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා. පොඩි ආඩම්බරයකුත් තියනවා. අරෝ මා ලඟට ආවා." මාර කේස් එක බං.... " අරෝ පොඩ්ඩක් හොල්මන් වෙලා වගේ.... " ඇයි උඹට උණ ගැනිලා වගේ..., මොකද්ද කේස් එක" අරෝ වට පිට බලලා මගෙ කනට ලං උනා...." සුමාට බඩේ අමාරුවක්, ස්ටේජ් එකට යනවා තියා කෙලින් ඉන්න පණ නෑ ඒකිට" මලා...... මට හීන් දාඩිය දැම්මා එතනින් දුවගෙන දුවගෙන ඇවිල්ල අපේ පන්තියේ කරටි කඩාගෙන ඉන්න සුමා ලඟ මම වාඩි උනා. " සුම්..... උඹට මොකද බං" මම දැනගෙන ඇහුවා. අර නාල එනකොට නෑවද අහනවා වගේ. " මට ස්ටේජ් එකට යන්න තරං පණක් නෑ බං" දැං මගේ පණත් නැති වේගෙන එන්නේ.... සුමා නැත්නම් නාට්‍යය කරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි කට්ටියක් දම්මලා රූකඩයක් නටවනවා. අරෝයි , මමයි නිකං පිස්සන් කොටුවට ඇඩ්මිට් වෙන්න කිව්වා වගේ. "වෙන එකෙක් හොයා ගන්නත් වෙලාව නෑ. දැං ඉන්ටවල් එකෙන් පස්සේ නාට්‍යය. මොකද කරන්නේ" මට පුළුවන් කම තිබ්බනම් මම ඒ වෙලාවෙ කකුලේ නියපොතු ටිකත් කනවා. පන්තියේ තව එකෙක් කිව්වා.." සෙනුට යන්න කියමු, " අපි ඔක්කොම සෙනු දිහා බැලුවා. " අනේ මට බෑ... බුදු අම්මෝ....." අරෝ සෙනූ ලඟ බැගෑපත් උනා." අනේ අපි වෙනුවෙන් මේක කරපං.... බලපං බං උඹට සුමාගේ ඩයලොග් කට පාඩම්නෙ" ඇඩෙනවා.... මේකි එළුවෙක් වගේ බෑ කියා ගත්ත ගමන්මයි. " සෙනූ නදීශ අයියත් ඇවිත්නෙ බං" ඒ තැනට සුදුසු නුවණ ආවේ අපේ පන්තියේ හිටපු මහේශි කියලා ෆිට් එකකට. සෙනු නිකං අර බැටරි බැහැලා තිබ්බ ටෝච් එකකට බැටරි දාලා වගේ චාර්ජ් උනා. " නදීශ අයියා ඇවිල්ලා...."අපේ සිංහල පංතියට යන ඔක්කෝමලා දැනගෙන හිටියා සෙනූ නදීශ ගැන වැඩිය හෙව්වාට ඌට ගානක් නෑ කියලා. " ඔව්.. උඹ දැක්කේ නැද්ද.. ඇවිත් ඉන්නේ... කරපංකෝ රෝල් එක.... කාටද ආඩම්බර" අපි දන්නවා දැං වැඩේ හරි බව. සෙනූ ටික වෙලාවක් කල්පනා කලා." හරි උඹලා අමාරුවේනේ මම කරන්නම්" මට ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනේ සෙනූව නෙවෙයි, මහේෂිව. ඉතිං සෙනු ඒ චරිතේ කලා ඒත් පටන් ගත්ත ගමන්ම නා ගත්තා. පටන් ගන්න තිබ්බේ තරහින් එහාට මෙහාට යන සීන් එකකින්. සෙනූ ඇන්දේ සුමා ගෙනාපු ඇඳුම්නෙ ඒවා සෙනූට දිගයි. එක පාරක් එහා පැත්තට ගිහින් අනික් පාර හිතට අරං අනිත් පැත්තට යන්න ගිහින් දඩෝං ගාල ස්ටේජ් එක මැද වැටුණා. වස නෝණ්ඩිය තමයි. ඒත් නාට්‍යය අඩුවක් නැතුව කෙරුනා. ඔහොම තමයි නපුරු කලට වොට් ටු ඩූ

කුතුහලයක් නොවූ කුතුහලයක් ගැන මම පස්සේ ලියන්නම්

1 comments:

Gihan said...

අපිටමයි වෙන්නේ කිව්වලු.. මේක කියවද්දි මටත් ඉස්සර අපි කරපු නාට්ටියක් මතක් මතක් වුණා.....

Post a Comment