ආදරේ සුන්දරද මෙතරම්

ඒ ලෙවල් වලින් පස්සේ.. අපිට හිතුනේ අපරාදේ ඒ ලෙවල් කලේ කියලා. ඒත් දැං කරලා ඉවරයිනෙ. මම හිතන්නේ ඊට පස්සෙ තමයි අපි පොලොවෙ පය ගහන්න ඉගෙන ගන්නේ. ජීවිතේ වගකීම් ගොඩක් කියලා තේරුම් ගන්නේ. ඒත් ඒ ලෙවල් වලින් පස්සේ මුල් මාස් දෙක තුන නම් එච්චර දෙයක් තිබ්බේ නෑ හිතේ. අර එදා වගේ අදත් අපේ හිතේ තිබ්බ එකම ආසාව දඟලන්න. ඔය එක එක පන්ති වලටත් යන්න ගත්තා.... කොම්පුටර් කියයි, ස්පෝකන් ඉන්ග්ලිශ් කියයි, අරක කියයි මේක කියයි. ඒ අතරතුර අපි ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු චරිත එක්ක, පොත් පත් එක්කත් අපේ ජීවිත ගොඩ නගා ගන්න උත්සහ ගත්තා. වස්සාන සිහිනය කියවලා කසුන්ට ආදරේ නොකරපු කෙල්ලෙක් හොයා ගන්න ඉන්නවද? සුලඟ වගේ ඇවිදින් කියවලා අරුණි අක්කට ආදරේ නොකරපු කොල්ලෙක් ඉන්නවද? අපි අපේ හීන ලෝක වල ජීවත් උනා. ආදරේ කියන්නේ පොත් පත් වලින් ගෙනාපු මනඃකල්පිත හැගීම් ගොන්නක් කියලා අපි තේරුම් ගන්න උත්සහ කලේ නෑ. අන්න ඒකයි මම හිතන්නේ ඒ වයසෙ වැරැද්ද. ආදරේ අපේ හිත් වලටත් හොරාම එන්න ගත්තා. මාරයි කියන්නේ මට වගේම අරෝටත්. අපිට සිද්ධ උන ගොඩාක් දේවල් සිද්ධ උනේ එකම කාලේ. ඕකට වෙන්න ඇති කියන්නේ සංසාරික බැඳීම් කියලා. ඒත් හිත් වල ගොඩ නැඟුණු මොකද්ද මෙව්වා එක මුලින්ම කිව්වේ මම නෙවෙයි අරෝ...
" උඹට බඩ්ඩක් කියන්න තරහ වෙන්නේ නැද්ද?" දවසක් අපි දෙන්න ක්ලාස් එක ඇරිලා එද්දි අරෝ මගේ අතින් අල්ලගෙන කිව්වා. " මොකද්ද බං ඒ, උඹ කියන දේකට මට තරහ යන?" මම එදා පුදුම උනා. මට මල පනිනවා අඩුයි. ඒක මටත් වඩා අරෝ දැනගෙන හිටියා. හැබැයි එදා අරෝ නම් මාරම මාර සීරියස්. " නදීශ මට කාර්ඩ් එකක් එවලා තිබ්බා" මේකිට නදීශ එව්ව කාඩ් එක මොකද්ද? යකෝ මේකිටවත් නදීශටවත් කාඩ් එකක් තියන එකක්යැ හුවමාරු කර ගන්න. මට පැහැදිලි උනේ නෑ. " කාඩ් එකක් ඒ මොකටද බං" අරෝ රතු වෙලා මට ඒක තේරෙනවා. උපතින්ම එයා සුදු නිසා මූන රතු , නිල, දම් වෙනවා හොඳට පේනවා. " ඒක මටත් හිතා ගන්න බෑ..... I Miss You.... කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. බලපං බං.. හොඳ වෙලාවට මම එදා ලියුම් ගත්තේ අම්මා එහෙම ගත්තානම් කඩලා බලනවා... එහෙම උනානං වහ කන්න වෙන්නේ" මේකි කියන එක ඇත්ත... ඒත් නදියා මෙහෙම කාඩ් එවන්න හේතුව මොකද්ද? මට නොතේරුණාම නෙවෙයි ඒත් අර මොකද්ද එකට මට අරෝගෙ කටින්ම ඒ වචනේ ගන්න උවමනාව තිබුණා. " කෝල් එකක් දීලා බැනපංකො පිස්සු වැඩ කරන්න එපා කියලා" අරෝ මගෙ දිහා බැලුවේ අමුතු විදියකට හරියට මේකිට මේකවත් තේරෙන්නේ නැද්ද කියලා අහනවා වගේ " අනේ ඒ මොකටද බනින්නේ... මම හොරෙන් කෝල් එකක් දුන්නා... එතකොට කිව්ව හම්බ වෙන්න ඕනෙ කියලා මෙතනට එනවා කිව්වා 11 වෙනකොට" ඇත්තම නේන්නම් තාම අපි මේ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. මම අහක බලං හිනා උනා... බඩුම තම්යි. අපිටත් අමරණිය වෙන්න පුළුවං කසුන් චාපා වගේ. අපිට කිව්වේ අපේ උන් දෙන්නෙකුට. එතකෝට මම සපෝටර්ද? අර තේමියට ක්‍රිශායි මාටයායි හිටයා වගේ. එළ එළ.... " සුමා දන්නවද?" මම හෙමින් අරෝ දිහා බැලුවේ එන යන බස් අතුලට ඇහැ දාගෙන මාලුවා ගොඩට ගත්තා වගේ නොඉවසිල්ලෙන් ඉන්න වෙලාවක. " අපෝ නෑ... ඒකිට දැම්ම කියන්න එපා... තාම මම හරියට දන්නේ නෑනෙ මොකද්ද සීන් එක කියලා. අනික පොඩ්ඩක් ආඩම්බර වෙන්නත් ඕනෙ ඕවට ආවොත්.... පැනපු ගමන් කැමැත්ත දෙන්න හොඳ නෑ" ඕක තමයි ගෑනු ගතිය... අර බොක්කටම වැදිලා හතර ගාතෙන් එන කොල්ලාව වටේ යවනවා. ඒත් සාම්ප්‍රදායික ගෑනු ආත්මෙකින් මිදෙන්න මම හිතන්නේ නෑ අපිට පුළුවං කියලා මොන බණ කිව්වත්. කොච්චර රබර් ඇහැ දාගෙන හිටියත් නදීශ බස් එකෙන් බහිනා දැක්කේ මම "අන්න එනවා.... චමතුත් ඉන්නවාද කොහෙද?" උන් දෙන්නා අර සිංදුයි බිංදියි වගේ... කොහෙ ගියත් එකට. මම හිතන්නේ කාන්දම් බලයක් තියනවා. " ගොඩාක් වෙලාද ඇවිත්...." චමත් කතා කලා. අරුං දෙන්නා නෝ කතා නෝ සිනා " අපි නම් ටිකක් වෙලා.... " ඉතිං මමවත් කතා කරන්න ඕනෙනෙ..." එහෙනම් නදියා අපි යමුද?" චමත් නදීශ දිහා බැලුවේ අර මොනාද වෙලා වගේ ඌ ඒ පැත්ත පලාතෙම තියන බිල්ඩින්, වාහන බල බලා සික් එකේ ඉන්න වෙලාවෙ. නඳිශ එකඟ උනා." අපි ඉස්සරහට ඇවිදින්න පටන් ගත්තා...මෙතන කතා කරන්නේ මමයි චමතුයි විතරයි. අරුන් දෙන්නා හැසිරෙන්නේ කවදාවත් දැකලා නැති උන් වගේ " ඇත්තටම චමත් අරුන් දෙන්නාට මොකද වෙලා තියෙන්නේ....?" "මටත් හිතා ගන්න බෑ බං... අර මොකද්ද එකක් දැකලා වගේ කටේ පුස් කාපු පාන් පුරෝගෙන වගේ මූණවල් බලන්නේත් නැතුව මොන නාඩගමක් නටනවාද කියලා" මට නිකමට හිතුණා චමත් මොකුත් දන්නේ නැද්ද කියලා.ඒත් නොදැන ඉන්න විදියක් නම් නෑ " අරෝ පාරෙ නෙවෙයි යන්නේ තණකොල අස්සේන්. කානු උඩින්.... අනේ මන්දා මේ ආදරේ කියන්නේ ලෙඩක්. මම දන්නේ නැද්ද අරෝ මොන බයි ලා කිව්වත්. එක පාරටම මම දැක්ක අරෝ බිම බලාගෙන යන්න ගිහින් නවත්තලා තිබූණු කාර් එකකත් ඩාං ගාලා හැප්පෙනවා. මම විතරක් නෙවෙයි චමතුත් දැකලා " ඕයි අරෝ.... නවත්තපුවට පැන්නට මැරෙන්නේ නෑ බං. අර පාරෙ යන එකකට පැනපං" මටත් හිනා... අරෝත් රතු වෙලා නදීශටත් ඒ පාර නම් හිනාවක් ගියා.

කැමැත්තට පෙර අකැමැත්ත ගැන මම පස්සේ ලියන්නම්

දෙපා වාරු නැත ඔබ හැර යන්නට

අහස උසට බලාපොරොත්තුත් එක්ක අපේ ජීවිත වල හොඳම කාලේ දවසින් දවස ගෙවිලා ගිහින්, ජීවිතයේ මල් මල් සමය වගේම ඉස්කෝලය කියන ජීවිතයේ කඩ ඉම සදහටම අපෙන් ඈත් වෙලා යනවා. අර බුද්ධාගම මිස් කිව්වා වගේ හැම දේම දවසක අපිට දාල ගිහින් ඇස් දෙක පියා ගන්න වෙනවා නම් ඉස්කෝලෙ දාලා යන එක මොකද්ද? ඒත් අනිත්‍ය මෙනෙහි කරලා මරණානුස්සතිය වඩන්න තරම් ගටක් අපට නෑ. අපි සම්පූර්ණයෙන්ම විභාගෙට ෆිට්ද නැද්ද කියලවත් දැනගෙන හිටිය නැති කාලෙ. අවුරුදු 13 තිස්සේ වද දුන්න ඉස්කෝලෙ දාලා යනවා කියලා හිතනකොටත්. සර්වාංගෙම පිච්චිලා යනවා. ආයෙ කවදා එන්නද? ඇත්තමයි මේ බිල්ඩින් වලට, මේ ගහකොල වලට පණ තියනවා නම් උනුත් කියයි අපිට යන්න එපා කියලා. ඒත් ඔක්කොමලා දාලා යන්න වෙනවා. සියඹලා ගහ විතරයි අපේ මතක සටහන් එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඒ විනය කමිටුවට හොරෙන් සියඹලා ගහට ගහපු ඩෙස් කෑලි පුටු කෑලි. හිතේ තියන අම්බානක දුක උනත් සියඹලා ගහට කියලා අඬන්න අපි පුරුදු වෙලා හිටියා. කොහොම උණත් ඉස්කෝලෙ අන්තිම දවස අපිට නොදැනීම ළඟට ආවා, ඒ අගෝස්තු නිවාඩු දෙන දවස. ඊට පස්සේ අපිට ඉස්කෝලෙ එන්න වෙන්නේ විභාගෙට. කවදාවත් ආයෙ එකට වල බහින්න හම්බ වෙන්නෙ නැති පන්තිය දිහා බලන්න දුකේ බෑ. මිස්ලා උනත් අපි ඉස්කෝලෙ දාල යනවට ගොඩාක් දුක් උණා. ඒක එයාලගෙ හැටියක්. අවුරුදු 13ක් තිස්සේ අපිව හදා වඩා ගත්තා අම්මලා වගේ එයාලත් අපේ වෙන් වීම ගැන, තව අනාගතය ගොඩ නගා ගැනීම ගැන ගුරුහරු කම් අන්තිම දවසෙත් අපිට දුන්නා. අනේ අපි කිව්ව දේවල් කරපු දේවල් වලට ඒ කකුල් අල්ලලා වැඳගෙන කල්පයක් හිටියත් මම හිතන්නේ නෑ අපේ පව අපිට ගෙවන්න පුළුවං වෙයි කියලා. ඒත් දෙයියනේ ඒ හැම වරදකටම ඒ වන කොටත් එයාල සමාව දීලා ඉවරයි. ඉස්කෝල ජීවිතේ අවසාන පැය කීපය අපි ගෙව්වේ කඳුලු ටොන් ගනන් හලමින්. එකෙක් දෙන්නෙක් නෙවෙයි මුළු පන්තියම. මට දැනුනේ මේ පංතියේ බිත්ති හතරත් අපිත් එක්ක අඬනවා කියලා. අර බලි ඇන්ඳ කලූ ලෑල්ලත් අඬනවා වගේ. මේ ඩෙස් පුටු.... හැම එකම. මම ගොඩාක්ම අඬන්න ඇත්තේ එදා තමයි. මතක ඇති කාලෙකට. කොහොමහරි ඉස්කෝලෙ අරෙන්න ඔන්න මෙන්න තියනකොට අපේ ඇඬිල්ල සෑහෙන්න වැඩි උනා. මල ගෙයක් වගේ " දෙපා වාරු නැත ඔබ හැර යන්නට" කියල බෝඩ් එකෙත් ලියලා. සුමා අඬන එක අස්සෙන් පන්තියට අහෙන්න කෑ ගැහුවා." මෙහෙම අඬලා අඬලා මේක දාල යන්න බෑ... අපි හිනා වෙලා දාල යමු බං" මම නම් ඒකට සම්පූරණයෙන්ම එකඟයි. ඒත් මේ ඉලව් කඳුලු නවතින්නේ නැති හැටි.
" සිංදුවක් කියමු" මහේශිගේ කතාවට අපි ඔකොම එකඟ උනා. ඇත්ත මෙච්චර කාලයක් තිබ්බ ෆන් එක අන්තිම මිනිත්තු කීපයදි නැති කර ගන්න ඕනේ නෑනෙ. අපි සිංදුවක් පටන් ගත්තා. "
පුන්සඳ වගේ ...... දිලෙන්නා
...... තමයි අපේ ඉස්කෝලෙ
...... කෙල්ලෝ ප්‍රීති ගීත ගයන්නා
.........වම ඩාන්ස් කරන්නා" අපි ඩෙස් වලට තට්ටු කර කර සිංදු කියනවා. අද අපිව කවුරුවත් නවත්තන්න ආවේ නෑ. මුළු ඉස්කෝලෙම දන්නවා අපි මේ දුකට කියන සිංදු කියලා. ඒ අතර අර පුරුද්දට වගේ අපේ පංතියේ ෆිට් එකක් ලඟ තිබ්බ වතුර බෝතලයකින් වතුර තව එකෙක්ගෙ ඇඟට ගැහුවා.... තරහකට නෙවෙයි ජොලියට. පන්තිය හිනස්සන්න. නැත්නම් සිංදු කිව්වෙ මල හොල්මන් නැගිටලා වගේ. වැඩේ නැගලා ගියා. අපි බකට් වෙන්න පටන් ගත්තා. පානීය ජලය එහාට යනවා, මෙහෙට යනවා. අපිත් කිසි ගානක් නැතුව නානවා. එහාට දුවනවා. මෙහාට දුවනවා, කෑ ගහනවා. දැං ඉස්කෝලෙත් අරෙන්න ළඟයි. කොහෙ ගියත් විනය කමිටුව අවසාන මොහොතෙත් ඉන්නේ අපිට රබර් ඇහැ දාගෙන නෙ. වතුර සෙල්ලම දැකලද කොහෙද විනය කමිටු මිස් කෙනෙක් අපේ පන්තිය ගොඩ බැහැලා. අපි දන්නවද ඕවා.. සුමා පංතියේ වෙන එකෙකුට ගැහුව මෙගා බොතලේක වතුර අර මිස්ගෙ ඔළුවෙ ඉඳං කකුල් දෙකට නෑවිලා. සෙල්ලම ඉවරයි. මිස්ට යකා වන්නම සිහි වෙලා. " ඉස්කෝලෙ ලොකුම ළමයි.... වැද්දෝ වගේ හැදිලා.... වතුර නාගෙන , මාවත් නෑව්වා.... එක්කෙනෙක් යන්නේ නෑ දැං ගෙදර.. ඔක්කොම නඟිනවා අර ස්ටේජ් එකට" ඒ පෙන්නුවෙ අපේ එළිමහන් රංග වේදිකාව. කට්ට අව්ව.... " ඔය ඇඳුම් වේලෙනකන් ඉන්නවා ඒකට නැගලා... පෝලිමට යනවා...." අපි පෝලිමට අර කට්ට අව්වේ කාටත් පේන්න හිටගත්තා. ඉස්කෝලෙ නංගිලා එහෙම අපි දිහා බල බලා ගියේ අයිෆල් කුළුන දිහා බලනවා වගේ. ඒත් අපිට ලැජ්ජාවක් ආවෙ නෑනෙ. තවත් මිනිත්තු කීපයක් හරි මේ කට්ට අව්වේ අපේ පන්තිය එකට ඉන්න ලැබීම ගැන අපි සෑහෙන්න සතුටු උනා

ඒ ලෙවල් ඉවර වෙලා උන වැඩ ගැන මම පස්සේ ලියන්නම්

නෑමෙන් උතුම් නෑම

අපේ ෆිට් එක පැයට කිලෝමීටර් එකසිය ගානට වැඩි වෙමින් තිබුණා. මුළු ක්ලාස් එකම දැනගෙන හිටියා අපි හොඳම යාළුවෝ කියලා. එකට යන්න එන්නත් පුරුදු වෙලා තිබුණේ. මම වැඩිපුරම කතා කරන්න සෙට් උනේ චමත් එක්ක මොකද එයා කියන සමහර දේවල් වලට හිනා වෙලා තවත් හිනා යනවා, ඒත් මාත් එක්ක වැඩියම කතා කරන්න ට්‍රයි කලේ නදීශ. ඕකනේ සෙනුට දිරෙව්වෙම නැත්තේ." උඹේ පස්සෙන්මයි අරූ..... " හැමවෙලේම සෙනූ කිව්වේ ඔහොමයි. චමත් , නදීශ කියන්නේ ක්ලාස් එකේ ගොඩාක් ප්‍රසිද්ධ දෙන්නෙක්. විශේෂයෙන්ම කෙල්ලො අතර. ඉතිං එහෙම දෙන්නෙක්ගෙ යාලූවෝ උන එකම මදිද? එක දවසක් අපිට ආරාධනාවක් ලැබුණා එයාලගෙ ඉස්කෝලෙ ජනමධ්‍ය දිනයට එන්න. අපිත් ඉතිං ජනමාධ්‍ය ගැන මොකුත් දන්නෙත් නැතුව එහෙ ගියා. අපිත් එක්ක අක්කලා දෙන්නෙකුත් ගියා. මාර කටර් දෙකක් තමයි. එයාලාගෙ හෝල් එකට ගිහින් ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කලේ එක එක ඒවාට කිංඩි දාන එක. කිරි අප්පට බල්ලෝ හැටහුටා මාරක් බුරපි කිව්වලු. ජනමාධ්‍ය සංගමයේ ප්‍රසිඩන්ට් උනේ චමත්. අපි දැනගෙන නෙවෙයි ආවේ. කාටද ආඩම්බර. අපේ ෆිට් එකනේ. මාර තැනක් මටයි අරෝටයි ඇති වෙලා කියල හිතාගෙන අපි දෙන්න අඩි දහයක් විතර උඩින් තමයි වැඩ සිටියේ. කොහොමහරි මීඩියා ඩේ එක පටන් ගත්තා. එහාට මෙහාට යන ගමන් නදීශ අපිට කන්න බොන්න නම් අඩුවක් නැතුව දුන්නා. චමත්ව නම් ඉඳලා හිටල තමයි දැක්කේ. ඒ අස්සේ අර සමයං අක්කා කෙනෙක් අපිට ඇහෙන්න කියනවා. " පැනියෝ දෙන්නෙක්ද කොහෙද" කියලා. අපි ඉතිං ඇහුනේ නෑ වගේ හිටියා. මොකද උන්ට පැනියො කිව්වයි කියලා අපි දෙන්නගෙ ඇඟේ වඳින්නේ නෑනෙ. ඉතිං වැඩ අස්සේ චමතුත් අපි හිටපු තැනට අවිල්ලා අහුවා" කොහොමද වැඩේ හොඳද?" කියලා ෆිට් එකටනේ.... අපිත් එක්ක ගිය මිස්වත් මොකුත් කිව්වේ නෑ.මෙන්න ඒපාර අර හිටපු සමයමක් කියනවා" මේ ඔයාලාට මෙයාලත් එක්ක කතා කර කර කන්න බොන්න දෙනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද" කියලා. අපිට පොඩ්ඩ්ක් වගේ නෝන්ඩි ගතියකුත් දැනුනා, ඊට වඩා මල පැන්නා. අපි ඇවිල්ලා ම්ව් කිරි බීලා හැදිච්ච උන් නේ. මමයි අරෝයි දෙන්නම දත් මිටි කනවා. කොච්චර තදින් කනවද කිව්වොත්. විනාඩි 15ක් විතර කෑවානම් දත් නෙවෙයි දත් වල නටඹුන් තමයි හොයා ගන්න වෙන්නෙ. "ආයේ කියපු දෙංකෝ මොනා හරි මම බලාගන්නම්". අරෝ තනියමද මට ඇහෙන්නද කියනවා. මටත් අම්බානකට නෙලන්න ආසවේ හිටියේ. කොහොම හරි වැඩේ හොඳට කෙරීගෙන යද්දී නදීශ අපි ලඟට ඇවිල්ලා ඇහුවා.." ඔයාලට සුවනියර් හමබ උනා නේද කියලා" එතකොට අරුංගෙන් එකෙක් කියනවා." සුවනියර් නම් මීට කලින්ම මෙයාලට දීලා පාටයි" කියලා. අරෝ නොදන්නවා වගේ අතේ තිබ්බ පෝටෙලො එක අර දෙන්නගෙ සුදු ගවුම් වැහෙන්නම හැලුවා. ඒක හොඳට බලාගෙන හිටපු නදීශටත් හිනා. අරුං දෙන්නා පුපුරනවා." අක්කලාටත් ඕනෙ නම් ඕක හෝදගෙන මෙයාලාගෙන් සුවනියරුත් අරං එන්න" කියලා අරෝ ඇඟට නොදැනී කියලා දැම්මා. එදයින් පස්සේ අපට මොනා හරි කියන්න කලින් ටිකක් කල්පනා කරන්න එයාල පුරුදු වෙන්න ඇති. අපි දෙන්නා කරපු සෑහෙන්න ලොකු වීරකම නිසා අපි දෙන්නට තවත් හොඳ සැලකිලි ලැබෙන්න උනා. කොහොම හරි අර දෙන්නා රතු පාටට පෝටෙලෝ යනකන් ටැප් එක ලඟ මීඩියා ඩේ එක බලන්න ඇති. පව් තමයි ඒත් අන්න ඒකයි අක්කලාගෙත් අක්කලා කියන්නේ අපිට. මෙහෙම හිටියට අපිටත් යමක් කමක් පුලූවන්. වලි නම් වලි ශේප්නම් ඒත් වලි. ඒත් දෙයියනේ එහෙනම් අපේ ආයුෂ උනත් මෙච්චර වෙන එකක් නෑ, මොකද මුන් හිතිං බනින්නේම හෙන ගහපං කියලානෙ. කමක් නෑ..... ඕන වලියකට අපිත් රෙඩී... ඒත් බය වෙන්න එපා. අපි ඔහොම කිව්වට බෝ පැල වගේ....

අහස උසට බලාපොරොත්තු ගැන මම පස්සේ ලියන්නම්

සීගිරි වන්දනාව

සිංහල පංතියේ ටික කලක් යනකොට ගොඩාක් අය ෆිට් උනා. අපේ කල්ලිය ගැහැණු පිරිමි කියලා දෙකොට්ටාශයෙන්ම වැඩි වෙමින් පැවතුණා. පංතියේ තිබ්බ ෆිට් එක නිසාම අපි එකතු වෙලා සීගිරිය නගින්න තීරණය කර ගත්තා. ගෙවල් වලට කිව්වේ කෙල්ලො සෙට් එක විතරයි යන්නේ කියලා. ඇත්ත කිව්වා නම් ට්‍රිප් එක යන එක කෙසේ වෙතත් ක්ලාසුත් යන්න බැරි වෙන වැඩක් වෙන්නේ. මහේෂිලාගේ වාහෙනෙ තමයි යන්න සෙට් කර ගත්තේ ඉස්කෝලෙ නිවාඩුවක, සෙනසුරාදාවක් අල්ලලා පාන්දරම සීගිරි යන්න අපි පටන් ගත්තා. කට්ටිය 20ක් විතර හිටියා. හිතුවට වඩා මහේශිගේ අයියාත් මාර ජොලි. පටන් ගත්ත වෙලාවෙ ඉදලා සිංදු වලින් ඉවරයක් නෑ. අපේකෙල්ලො ගැන්සියට සෙට් උනේ ක්ලාස් එකෙ අයියාලා ටිකක්. එයාලා ක්ලාස් ආයෙ එනවා කැම්පස් යන්න ගොඩ දාගන්න. ඒ අතර සෙනු මැරෙන්න හදන නදීශ අයියායි එයාගෙ යාලුවයි හිටියා එතකොට අනිත් උනුත් එයාලගෙම යාලුවෝ සෙට් එක තමයි. සමහරු අපි දැක්කේ එදාමයි. නදීශගෙ යාලුවා (චමත්) හැම වෙලේම බයිට් එකට ගත්තේ සෙනුව. සෙනූටත් ගානක් නෑ... ඔහේ හිනා වෙවි ඉන්නවා.. අර අපිත් එක්ක යන ඩෝං මෙයාලත් එක්ක යන්නේ නෑ. නදීශ වැඩිපුර කතා කරන්න ආවේ මාත් එක්ක. ඒ අතර අපි විවාද තරඟත් යනවා... පුදුම වැඩේ කියන්නේ අපේ සෙනු උදව් කරන්නේම අයියලාටනේ. අපිට මරාගෙන කන්න කේන්තියි. ඒත් එහෙමම තමයි. සුමා හැම වෙලේම කලේ සෙනූට එරෙව්ව එක. අපි හැම එකෙන්ම පැරදුනා සෙනුට පිංසිද්ධ වෙන්න. කොහොම හරි දවල් එකොලහ වගේ වෙනකොට අපි සීගිරියට කිට්ටු කලා. කට්ට අව්ව පැලෙන්න රස්නෙයි, ඒත් අර තිබ්බ ෆිට් එකට අපි සීගිරි නගින්න සෙට් උනා. ' මේ මේ අරෝ ඔයාලා ඉස්සරහින් යන්න අපි පිටි පසෙන් එන්නම්" චමත් එහෙම කිව්වෙ අනිත් උන් දිහා බලල හිනා වෙවි. මට මොකද්දෝ අමුත්තක් දැනුනා. දැං මුං මොකාටද එන්න යන්නේ..... " නෑ නෑ ඔයාල ඉස්සරහින් යන්න අපි නගින්න පරක්කු වෙයි" සුමා චමත්ට උත්තර දුන්නා " එහෙම හරි නෑනෙ සුමා ඔයාල ඉස්සරහින් යන්න, අපිටත් ජොලියක් තියන්න ඕනෙනෙ." ජොලියක්... මේ මොනා ගැනද කියවන්නේ.. අපි මූනට මූන බලා ගත්තා. මහේෂිටත් අපිට වගේ ම මොකුත් හිතා ගන්න බෑ. අරො ටික වෙලාවකින් මට ලං උනා. "මේ බලපංකෝ සෙනූ ඇඳං ඇවිත් තියන එක... අර වගේ උඩ යද්දී යට ඉන්න උන්ට අඩල්ට්ස් ඔන්ලි නේ" අරොගෙ කතාවෙන් තමයි අපිට චමත් කිව්ව කතාව හොඳටම තේරුනේ.... අපිටත් ඒකෙ ගානක් තිබ්බේ නෑ වෑන් එකෙ එනෙකන් මොකද මේකි අදින්නේම කොට කෑලි නිසා. ඒත් දැං මොනා කරන්නද? සුමාට ඉතිං සුපුරුදු පරිදි මල පැනලා. " "මොකද නංගිලා ප්‍රශ්නයක්ද? " චමත් ඇවිල්ල් අහුවේ අපේ ප්‍රශ්නේ හොඳට දැනගෙන. " නෑ මේ මොකුත් නෑ" මේ වෙනකොට සෙනූට සුමා හොඳට බැනලා හිටියේ. " චමත් ඔයාලා ලඟ නැද්ද වැඩිපුර කලිසමක් එහෙම" ඒ ගොන් ප්‍රශ්නෙත් අඟට පතට නොදැනී අහුවේ සෙනූ. චමත්ලාට පණ යන්න හිනා, මේකිට ලැජ්ජාවේ එක නූල් පොටක්වත් නැති හැට අම්මපා..." ශෙහාන්ගෙ කලිසමක් නම් තිබ්බා ඒත් සෙනූ ඔයාට වගෙ දෙන්නෙකුට ඒක අදින්න පුලුවන්. " කමක් නෑ ඒක දෙන්න මම මේ බෙල්ට් එක දාල ඒක ඇඳගන්නම්." විලි ලැජ්ජාවේ පණ යනවා. මෙන්න මේකි මීට කලින් දැකලාවත් නැති එකෙක්ගෙ කලිසමක් ඇඳගෙන එනවා බෙල්ට් එකකුත් දාලා ඒකත් උස්ස උස්ස. චාටර් වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙනෙ. සීගිරි නැගලා බහිනකන් අපිට නම් ලැජ්ජාවට වචන ආවෙත් නෑ... ඒත් මේකිට ගානක් නැති උණානෙ. අර කලිසමත් උස්ස උස්ස සීගිරිය නැගලා බැහලා ඇවිත් තැන්ක් යූ කියලා කලිසම ගලවලා ශෙහාන්ට දුන්නත් එක්ක කිසිම ගානක් නැතුව. මේවා හිරිඔතප්පේ තියන එකෙකුට උනානම් මෙලහට මැරිලා ලැජ්ජාවට. ඒත් සෙනූට ඒක උපතින්ම නැති වෙලා

අපේ ෆිට් එක ගිය දුර මම පස්සේ ලියන්නම්

කුතුහලය

කුතුහලයක් නැති කුතුහලයක් ගැන අහල තියවද? ඒක නම් මරු. මාර කුතුහලයක් තමයි තියෙන්නේ.... අපිට කියන්න දේවල් ගොඩාක් තියෙන්නෙ සිංහල ගැන තමයි. මොකද අපි ඔක්කොමලාටම මරු මරු වැඩ වෙලා තියෙන්නෙත් සිංහල නිසා. සෙනු වැඩි හරියක් කලේ සිංහල පීරියඩ් එකේ නිදා ගත්ත එක. සිංහල ක්ලාස් එකේදි කලේ නදීශ දිහා බලාගෙන හිටපු එක. සෙනූ ගැන නම් ඕන තරම් ලියන්න පුළුවන්. මම මේ කියන්නේ අපි සිංහල වලට කාපර්ලා කියලා නෙවෙයි. කොහොම හරි අපේ සිංහල මිස් ගොඩාක් වෙලාවට පංතියට එන්නේ පීරියඩ් එකෙන් බාගයක් ගියාට පස්සේ. ඇවිල්ලා අපෙන් අහනවා. " ළමයි අපි කරන්නේ මොනාද? සැළලිහිනියද? පුරාතන ගද්‍යද? මනමේද? නූතන පද්‍යද? කෙටි කතාද නැත්නම් යුගාන්තයද?" කියලා අපි පැනපු ගමන් කියන්නෙ මනමේ හරි යුගාන්තය හරි කෙටි කතා හරි කරමු කියලා. නූතන පද්‍ය හරි පුරාතන ගද්‍ය හරි සැළලිහිණිය හරි කිව්වොත් මිස් ගොඩාක් අමාරුවේ වැටෙනවා. මොකද ඒවයේ තේරුම පන්තියට පේන්නෙ නැති වෙන්න හොරෙන් පොතේ පිටිපස්සෙන් බලන්න ගිහිං. ඒත් එදා මිස් ගෙදරින් පාඩම් කරගෙන අවිත්ද කොහෙද එක පාරටම නූතන පද්‍ය පටං ගත්තා. ෆුල් හොල්මන් පාඩමේ නම නිශ්ශබ්දතාවය. කියලා වැඩක් නෑ සෙනුවා ඈනුමක් ඇරියා ආයේ හතර කේන්දරේම පාලු වෙන්න. " කට වහ ගනිං" සුමා සෙනුට විතරක් ඇහෙන්න කිව්වා. " අද සිංහල පීරියඩ් කීයද බං" "දෙකයි දෙකයි" සෙනු ඩෙස් එකට ඔලුව තියා ගත්තේ "ඉවර උනාම මාව ඇහැරවපං" කියලා... දැං පාඩම පටන් ගත්තා. කවිය මුල ඉඳං අගටම එකෙක් කියවගෙන ගියා. මිස් පාඩම විස්තර කරන්න පටන් ගත්තා " අද නම් මිස් හෝම් වර්ක් කරලා ඇවිල්ලා" අරෝ මගෙ දිහා බැලුවා
" මට මේ කවිය කියවද්දී දරුවනේ..... කවිය පුරා දැනුනේ කුතුහලයක්" කුතුහලයක්.....? එහෙම එකක් නම් අපිට දනුනේ නෑ.. ඒක තිබුණෙ මෙන්න මෙහෙමයි
" දෑත් බිම ඔබා පස්සට වාරු වී
නිසසලව සිටි ඇගේ මුව දෙස
බැලු මා
කීමට දිගු කලක්
පුල පුලා බලා සිට යමක්
නොකියා නිහඬ වීමි" (ඔන්න ඔහොම තේරුමක් තිබුනේ මේ ඒකෙ හරියට හරි වචන නෙවෙයි) ඔය වගේ තෙරුමක මොකද්ද තියන කුතුහලය. ඔය කවියේ හැම වචනයක් ගානෙම මිස් කලෙ " දැං බලන්න ළමයි කුතුහලය" කියන එක. ඒ ටික මිස් කියන්නෙත් පන්තියම දෙවනත් වෙන්න. සෙනුව ඒ හැම වෙලාවකම උඩ ගිහිං ඇහැරෙනවා. සෑහෙන්න තරහ ගිහින් සෙනුව අපිට විතරක් ඇහෙන්න " ආයෙ එක සැරයක් කුතුහලය කිව්වොත් මේ පොත තියෙයි මිස්ගෙ මේසෙ උඩ" අරෝ හිනා උණා " හා බලමුකෝ" සුමා කියනවා" මතක් කරලා නූතන පද්‍ය පොත යවපං" ඉතිං පෙර සේම මිස් අන්තිම පේලිය ඉවර වෙලාත් කිව්ව " ඔන්න බලන්න ළමයි කුතුහලය" කියලා. එක පාරටම ' දඩ බඩෝං' ගාලා සද්දයක් එක්ක මිස්ගෙ ඔලුවට පොත් දෙක තුනක් වැටුනා. සිද්දිය පැහැදිලි නැති නිසා අපි සෙනු දිහා බැලුවා. ' යකෝ මේකි ඇත්තටම පොත යව්ව වත්ද කියලා' දැං නම් ඇත්තටම දැනුනෙ කුතුහලයක්. ඒත් සෙනුවත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා වෙච්ච වැඩේ. මිස් ඔලුවේ තියන දූවිලිත් පිහ දදා නැගිට්ටා " වහලෙ හිටපු උගුඩුවෙකුටත් කුතුහලය වැඩිවෙලා සීලිමේ තිබ්බ පොත් ටිකත් පෙරලගෙන දිව්වා" කියල විස්තර කලා. දැං තේරුනා. සීලිමට විසි කරපු කැඩිච්ච පොත් පෙරලිලා සීලිමේ හිලකින් මිස්ගේ ඔලුවට වැටිලා. මාර සීන් එක තමයි. එදාට පස්සේ සෙනූ සිංහල පීරියඩ් එකේ නිදා ගත්තේ නෑ. අනික මිස් ආයෙ කවදාවත් කුතුහලය තියන පාඩම් කලේ නෑ


සිංහල පන්තියේ උන වැඩ ගැන පස්සේ ලියන්නම්

තිරය ඇරෙනවා... තිරය වැහෙනවා...

කලා උළෙල කියන්නේ ආර්ට්ස් සෙක්ශන් එකේ වෙඩින් එක වගේ උත්සවයක්. ඉස්කෝලෙ ඉන්න ලොකු අක්කලා විදියට අපිට තිබ්බ වගකීම් නම් කියලා වැඩක් නෑ. ඒත් පච හලනවා ඇරෙන්න අපිට මහ ලොකු වැඩක් තිබ්බේත් නෑ. පහු ගිය ටිකේම වෙන වෙන ඉස්කෝල වල කලා උළෙල වලට යන්න උනේ මටයි, අරෝටයි සුමාටයි සෙනූටයි. ඉතිං ඒ අත්දැකීම් එක්ක අපේ කලා උළෙල එළට කරන්න නම් අපි සප් එක දුන්නා. කලා සංගමයේ අපිට ඔය පට්ටං නම් තිබ්බේ නෑ. හැබැයි රෑ දවල පන්ති පාඩු කරගෙන මාර ගේමක් දුන්නා අනික් ඒවට වඩා හොඳට කරන්න. ඔක්කොටම වඩා හොඳට අපි කරන්න හිතං හිටයේ අපේ නාට්‍යය.... මොකද අපේ ටැලන්ට් එක පෙන්නන්න තියන හොඳම මාධ්‍යය උණේ ඒක. නාට්‍යය ලිව්වේ මම. හිතා ගන්න පුළුවංනේ කොහොමද කියලා. අනික චාටර් නැතුව ආයේ වෙන ඉස්කෝලෙක කලා උළෙලකට යන්නත් ඕනෙ නිසා උපරිම වැහෙසින් අපි නාට්‍යය ප්‍රැක්ටිස් උණා. මාතෘකාව උනේ කලා විෂය කරලා කැම්පස් ගිහින් රස්සාවක් නැති වෙන එක. ශිඃ කියලා වැඩක් නෑ රැකියා විරහිත උපාධිදාරීන් හෝ ගාලා. සුමා ඒකේ ප්‍රධාන චරිතයක් කලා. අනේ මට ඉතිං ඔය සබකෝලෙ එක්ක මොකුත් කරන්න බෑ. මම වැඩිපුරම කලේ වැරදි හදන එක, ඇදුම් අන්දන එක. අනික මේක හොඳට කරන්න ඕනෙ කියන්නේ.... අපේ සිංහල ක්ලාස් එකේ අයියාලාත් එනවා අපේ කලා උළෙල බලන්න.
සුපුරුදු පරිදි කලා උළෙල පටන් ගත්තා.... ගානට අපේ වැඩ ටික කරගෙන එනවා..... මම ඉතිං ස්ටේජ් එක පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා. පොඩි ආඩම්බරයකුත් තියනවා. අරෝ මා ලඟට ආවා." මාර කේස් එක බං.... " අරෝ පොඩ්ඩක් හොල්මන් වෙලා වගේ.... " ඇයි උඹට උණ ගැනිලා වගේ..., මොකද්ද කේස් එක" අරෝ වට පිට බලලා මගෙ කනට ලං උනා...." සුමාට බඩේ අමාරුවක්, ස්ටේජ් එකට යනවා තියා කෙලින් ඉන්න පණ නෑ ඒකිට" මලා...... මට හීන් දාඩිය දැම්මා එතනින් දුවගෙන දුවගෙන ඇවිල්ල අපේ පන්තියේ කරටි කඩාගෙන ඉන්න සුමා ලඟ මම වාඩි උනා. " සුම්..... උඹට මොකද බං" මම දැනගෙන ඇහුවා. අර නාල එනකොට නෑවද අහනවා වගේ. " මට ස්ටේජ් එකට යන්න තරං පණක් නෑ බං" දැං මගේ පණත් නැති වේගෙන එන්නේ.... සුමා නැත්නම් නාට්‍යය කරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි කට්ටියක් දම්මලා රූකඩයක් නටවනවා. අරෝයි , මමයි නිකං පිස්සන් කොටුවට ඇඩ්මිට් වෙන්න කිව්වා වගේ. "වෙන එකෙක් හොයා ගන්නත් වෙලාව නෑ. දැං ඉන්ටවල් එකෙන් පස්සේ නාට්‍යය. මොකද කරන්නේ" මට පුළුවන් කම තිබ්බනම් මම ඒ වෙලාවෙ කකුලේ නියපොතු ටිකත් කනවා. පන්තියේ තව එකෙක් කිව්වා.." සෙනුට යන්න කියමු, " අපි ඔක්කොම සෙනු දිහා බැලුවා. " අනේ මට බෑ... බුදු අම්මෝ....." අරෝ සෙනූ ලඟ බැගෑපත් උනා." අනේ අපි වෙනුවෙන් මේක කරපං.... බලපං බං උඹට සුමාගේ ඩයලොග් කට පාඩම්නෙ" ඇඩෙනවා.... මේකි එළුවෙක් වගේ බෑ කියා ගත්ත ගමන්මයි. " සෙනූ නදීශ අයියත් ඇවිත්නෙ බං" ඒ තැනට සුදුසු නුවණ ආවේ අපේ පන්තියේ හිටපු මහේශි කියලා ෆිට් එකකට. සෙනු නිකං අර බැටරි බැහැලා තිබ්බ ටෝච් එකකට බැටරි දාලා වගේ චාර්ජ් උනා. " නදීශ අයියා ඇවිල්ලා...."අපේ සිංහල පංතියට යන ඔක්කෝමලා දැනගෙන හිටියා සෙනූ නදීශ ගැන වැඩිය හෙව්වාට ඌට ගානක් නෑ කියලා. " ඔව්.. උඹ දැක්කේ නැද්ද.. ඇවිත් ඉන්නේ... කරපංකෝ රෝල් එක.... කාටද ආඩම්බර" අපි දන්නවා දැං වැඩේ හරි බව. සෙනූ ටික වෙලාවක් කල්පනා කලා." හරි උඹලා අමාරුවේනේ මම කරන්නම්" මට ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනේ සෙනූව නෙවෙයි, මහේෂිව. ඉතිං සෙනු ඒ චරිතේ කලා ඒත් පටන් ගත්ත ගමන්ම නා ගත්තා. පටන් ගන්න තිබ්බේ තරහින් එහාට මෙහාට යන සීන් එකකින්. සෙනූ ඇන්දේ සුමා ගෙනාපු ඇඳුම්නෙ ඒවා සෙනූට දිගයි. එක පාරක් එහා පැත්තට ගිහින් අනික් පාර හිතට අරං අනිත් පැත්තට යන්න ගිහින් දඩෝං ගාල ස්ටේජ් එක මැද වැටුණා. වස නෝණ්ඩිය තමයි. ඒත් නාට්‍යය අඩුවක් නැතුව කෙරුනා. ඔහොම තමයි නපුරු කලට වොට් ටු ඩූ

කුතුහලයක් නොවූ කුතුහලයක් ගැන මම පස්සේ ලියන්නම්

අපේ අලුත් පංතිය

සුන්දරම කාලය ආරම්භ උනේ ඒ ලෙවල් වලින්.... හරියට අර පුංචි කාලෙ එකට එකතු වෙලා කෝම්පිට්ටු හදනවා වගේ.. කියාගන්න බැරි තරම් සමඟියක් එක්ක ඒ ලෙවල් වලට අවුරුදු දෙකක් ඉගෙන ගන්න බලපොරොත්තුවෙන් අපේ පන්තියට අඩිය තිබ්බා. අනේ මන්දා වෙනදා නොදැනුන අපේ කමක් දැනුනා ඒ දවසේ. දවසෙන් දවස නාකි වෙද්දි එහෙම තමයි. දාල යන්න වෙනව කියල හිතද්දි එහෙම තමයි. මමයි අරොයි සුමයි එක ලඟ මේස තුනක් එකතු කර ගත්තා. අම්මේ ... දූවිලි.... මකුලුවෝ බංගලා ගහල මේස යට. අපේ පංතියේ අපේ ඩෙස් පේලියේ අපි තුන් දෙනා ඉඳගත්තා. අරෝ මටයි සුමාටයි එක ලඟ ඉඳගන්න දුන්නේ නැත්තේ ඊරිසියාවට නෙවෙයි, ඒ අපි දෙන්නා එකට හිටියොත් පංතියේ එකෙකුටවත් ඉගෙන ගන්න වෙන්නේ නැති නිසා. ඒත් අපි හොඳ ළමයිනෙ... එදා ඒක අරෝට තේරෙන්න නැතුව ඇති. අපේ ඩෙස් තුනට තව එක ඩෙස් එකක් වැඩිපුර තිබ්බා. ඒකෙ කවුරුත් හිටියේ නෑ. පංතියට එන උන් දිහා අපි තුන් දෙනාම හොරෙන් බැලුවේ මොකා අවිල්ල එතන ඉඳගනීද කියලා. තාම කවුරුත් ආවෙ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න ඔන්න මෙන්න තියලා හදිස්සියේ පිස්සු හැදිලා වගේ දුවගෙන ආව මැන්ටලයක් අපෙන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එතන එයාගෙ වගේ වාඩි උනා. අපි තුන් දෙනා මූණට මූණ බලාගත්තා. ඒත් අපි හොඳයි. අපි නෑනෙ ඔය රණ්ඩු වලට. අපේ පංතියේ පන්ති භාරව හිටියේ හුරුබුහුටි මිස් කෙනෙක් දැක්කාම හිත පැහැදෙනවා. අපි පැහැදිලිවම කලාව රසවින්ඳා. මිස් හරිම රසවත්.. ඒ වගේම ළමයි එක්ක යාලුවෙක් වගේ කතා කරනවා. එහෙම මිස් කෙනෙක් දකින්නත් ආසයි. ඉතිං අපි සෑහෙන්න පැහැදුනත්. අහන්නේ බලන්නේ නැතුව අපි හදා ගත්ත ඩෙස් එක අයිති කර ගත්ත මේ භූත ආත්මෙ ගැන අපි තුන්දෙනාම හිටියේ අම්බානක තරහින්. මිස් ගිය ගමන් අරෝ අර අපි අතරට ආව අලුත් හොල්මන දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. කිසි හැල හොල්මනක් නෑ. " උඹට මතකද මේකි අපේ පංතියක හිටියා. මම හිතන්නේ 8" අරෝ මගේ දිහා බැලුවා. මමත් හොඳට රබර් ඇහැ දැම්මා. "ඔව්මයි... මේ අර ප්‍රජනනය පාඩම කරද්දි කලන්තේ දැම්ම සමයමනේ" සුමා හෝ ගාල හිනා වෙනවා. අපිටත් හිනා. " පව් බං ඔන්න ඔහේ හිටපුදෙන්. අපි වගේම පිස්සු කේස් එකක්ද කොහෙද? ඒකිට මේ පංතියේ යාළුවෝ නැතුව ඇති." මම අරෝට කිව්ව නිසා අරෝ එයාට මොකුත් කියන්න ගියේ නෑ. ඒත් සුමා ලඟම එයා හිටපු නිසා. සුමා එයා පැත්තට හැරුනා. " මම මේ අහන්නමයි හිටියේ.. ඩෙස් වල දූවිලි කාලා හදලා එහෙම තිබ්බාට පස්සේ ඉඳගන්න හරි ලේසියි නේද?" එයා අපි ඔක්කොම දිහා බැලුවා...." අනේ සොරි... මෙතන වෙන කවුරු හරි ඉන්නවද? මම වෙන තැනකට යන්නම්. අද පොඩ්ඩක් පරක්කු උණානෙ එන්න... පංතිය දන්නේ නැතුව මම උඩ පංතියකත් ටිකක් වෙලා හිටියා"මෙන්න මේකි කියාගෙන කියාගෙන යනවා. පව් කියලත් හිතුනා. මේකිට අපිටත් වඩා පිස්සු වගේ. " නෑ නෑ මෙතන කවුරුත් නෑ ඉන්න පුලුවන් ඒත් අපි ඔයාට කවුරු කියලද කතා කරන්න ඕනෙ." ආයේ ප්‍රශ්න වටය සුමා පටන් ගත්තා. " මම සෙනුජනා.. ඔයාලා" මූණෙ හැටියට නම නම් මාර පොෂ්.... දිව උලුක් වෙන නමක් අනික. ඕක දිගටම කියන්න උණොත් දිව හැපිලා හැපිලා දිවක් හොයා ගන්න නැති වෙනවා. කොහොම හරි සෙනුජනා කෙටි කරලා ටික කාලයක් යද්දි 'සෙනු' කියන නම එයාටත් රෙජිස්ටර් උනා. මුලින් මුලින් අපේ කැමැත්තක් නොතිබුනත් පසුවට සෙනු අපේ වගේ උනා. හැබැයි තාමත් ටිකක් දුරින්.

කලා උලෙල ගැන මම පස්සේ ලියන්නම්