කෙසේ කියම්ද.....?

ඉර පායනවා... ඉර බැහැලා යනවා... මට වෙනසක් තිබ්බේ නෑ. ගහ කොල මල් මේ කිසි දෙයක් පෙනුනේ නෑ. කොටින්ම කියනව නම් මාව මම දැක්කේ නෑ. ඔහේ බලා ගත් අතේ බලාගෙන කල්පනා කරන්නෙ අතීතයද වර්තමානයද අනාගතයද කියලවත් මට දැනීමක් තිබ්බේ නෑ, ඒ දවස් වල අම්මා මා දිහා බලාගෙන ඇඬුවලු. කඳුලු පොදක්වත් නැති ඇස් දෙකට මට අඬන්න කඳුලු ආවෙත් නෑ. මැරුණු කෙනෙක්ගේ ඇස් වලට කඳුළු එනවා දැකලා තියනවද? චමත් මගේ අතීතය උනා කියන එක පිලිගන්න මම සූදානම් නෑ. අදටත් නෑ. කවදාවත්ම නැති වෙයි. එක දවසක් එකමත් එක රටක කියල පටන් ගත්ත කතාව ඉවරයි කියල දැනෙන්න ගන්නකොට මම මගේ මනසින් ලෙඩෙක් වෙලා ඉවරයි. කී පාරක් මම මගේ මරණය ලඟා කර ගන්න ඇද්ද? එක පාරවක් වත් මාරයට මාව ඕනෙ උනේ නෑ. මම ජීවත් උනා. මැරෙන එක ලේසි නෑ. මොන තරම් දුකක් විදිනවද මැරෙන්න එද්දි. ඒ හැම පාරම මම ඒ දුක විඳගෙන ජීවත් උනා. කරන්න කියන්න කිසි දෙයක් නෑ. මම හිතාගෙන හිටියෙ මම ජීවත් වෙන්න ඕනෙ නෑ කියලා. ඉඳලා හිටලා අරොලා ආවා, සෙනූ ආවා සුමා ආවා. එයාලට මගේ තත්වෙ බලං ඉන්න බැරි තැන එන එක අත ඇරියා. නානකාමරේ බිත්ති හතර අතුලේ මම කෑ ගහ ගහා අඬනවා. මට එන්න එන්න තේරුණා මම මේ දෙන්නේ මගේ රත්තරං අම්මාට දුකක් කියලා. ඒ නිසා මම අතුලතින් අඬුවත් පිටින් හිනා වෙන්න උත්සහා කලා. අනේ මම සාර්ථක උනා, දවස තිස්සේ හිනාවෙලා ඉඳලා මුලු දවසෙම එකතු කර ගත්ත කඳුළු රෑ තිස්සේ හලන්න මම පුරුදු උනා. ආයෙමත් රස්සවට ගියා මාස 6කට පස්සේ. එතන ඉන්න අය මාව පිලිගත්තා. ඒත් මට මාව පිලිගන්න බැරි වෙලා හිටියේ. අනේ දෙවියනේ.... මම වින්ඳ දුක මගේ හතුරෙක්වත් විඳින්න ලැබෙන්න එපා කියන එක තමයි මගේ එකම පැතුම උනේ. කඳුළු ඔක්කොම හිනාවෙන් හංගන් ඉන්න එක කොයි තරම් අමාරුද කියලා මම තරම් කවුරුත් දන්නේ නැතුව ඇති. සුමා පිටරට පදිංචියට ගියා, ඒකත් එයා මට කිව්වේ කෝල් කරලා. චමත් වටේ හිටපු යාලුවෝ කවුරුවත් ඊට පස්සේ මාව බලන්නවත් ආවේ නෑ. ඒ මම වැරදි කාරයෙක් නිසා වෙන්න ඇති. මොනා උණත් එක දවසක් අහම්බෙන් මට බස් එකේදි අඳුණන කෙනෙක් හම්බ උණා. මම අදුණනවා ඒත් කවුද මතක නෑ. " ඔයාට මාව මතක නැද්ද?" එයා මගෙන් ඇහුවා. " මතකයක් නම් තියනවා ඒත් කවුද කියලා නිච්චියක් නෑ" මම එහෙම කිව්වා. මේ පිරිමි පරාණයක්. " මම චමත්ගේ ෆියුනරල් ආවා... මගේ නම අචල, දැං මතකද?" ඒත් මතක නෑ අප්පා... මාව අමතක වෙලා තියන කාලේ වෙන අය මට මතක් වෙනවද?මම ලාවට හිනා උනා. " අනේ සොරී මට මතකයක් ඇත්තේම නෑනෙ" එයාටත් හිනා ගියා..." කමක් නෑ... ඔයාට දැං කොහොමද?" මම ටිකක් අන්දුන් කුන්දුන් උනා. " මට අවුලක් නෑ" මම එහෙම කිව්වා. " ඔව් හැමදාම ඔහොම ඉඳලා බෑනේ නේද?" මේ මොනාටද එන්න යන්නේ කියලා මට යන්තං වගේ තේරුණා. " මම කොහොම හිටියත් ඉන්නේ ඒ මතකය එක්ක...."මට එහෙම කියවුනා. එයාගේ කට වැහුණා....
මම කලේ හරි දෙයක්ද නැද්ද කියන එක මට තේරෙන්නේ නෑ ඒත් මම කලේ මට හරියි කියලා හිතුණ දේ. ඊට පස්සේ එයා මාත් එක්ක ඔය වගේ කිසි දෙයක් කතා කරන්න ආවේ නෑ.


අවසන් කඳුල

අහස උසට හිතුවත් මම හැමදාම ප්‍රාර්ථනා කලේ අයේ සතුට. ඒත් මගේ හිතේ එකම දුක තිබුනේ මට සතියක්ම චමත්ගේ මූණවත් කටහඩවත් දකින්නවත්,අහන්නවත් ලැබුනේ නැති එක. ඉස්පිරිතාලේ ඇඳට වෙලා ඔහේ ඉන්නකොට මට හිතුනේම අපේ වෙඩිං එක ගැන හිතන්න. මම කැමති උනේ සාරිය අඳින්න.. ඔසරියට වඩා. ලා නිල්පාට ෆොගෙට් මී නොට් මල් වලින් හදපු බොකේ එකක් තමයි ඉඳලා හිටලා හිතෙන් හිතා ගත්තේ. නදීගෙන් මම චමත් ගැන අහනකොට එයා කිව්වේ..." ඌට හොඳයි බං, අද හෙටම වෝඩ් එකට දායි" කියලා. ඉතිං එයාවත් මගේ ලඟින්ම වෝඩ් එකට දානකන් මම හීන දැක්කා අපේ වෙඩිං එක ගැන. අපි ඇක්සිඩන්ට් වෙලා සතියක් ගියා. එක දවසක් උදේ තරුණ නර්ස් කෙනෙක් මගේ ළඟට ආවා. " චමත්ව ඔයා අඳුනනවා නේද?" මම ටිකක් කලබල උනා. කවුරුත් මට මේ ඉස්පිරිතාලේ චමත්ව මතක් කරන්නේ නෑ." ඔව්" මම කලබල උන නිසා වෙන්න ඇති එයා හීනියට හිනා උනා. " ඔයාට අවිදින්න අමාරුද?" එයා මගේ කකුල දිහා බලලා ඇහුවා. " නෑ මට පුළුවන්" මම නැගිටින්න උත්සහ කලා." නෑ නෑ මම වීල් චෙයාර් එකක් ගේන්නම්" එයා ටිකක් එහාට ගිහිං රෝද පුටුවක් එක්ක මා ළඟට ආවා. " මට කියන්න එයාට කොහොමද?" මම එයාගෙන් අහුවේ එයාගෙ උදව්වෙන් අර රෝද පුටුවේ ඉඳගන්න ගමන්...... එයා මොකුත්ම කිව්වේ නෑ. මම එයාට අනේක වාරයක් හිතින් පිං දෙන්න ඇති. එයා මට පෙනුනේ මගෙ දුක දැක්ක දේවතාවියක් වගේ... එයා මාව අයි සී යූ එක ඇතුලට එක්කං ගියා. අනේ දයියනේ මගෙ ඇස් දෙක අදහාගන්න බැරි උනා. චමත් ඉන්නවා ඇඳේ නිදාගෙන. ඇඟේ හැමතැනම වයර්, එක පැත්තකින් ලේ බෝතලයක් එල්ලලා, අනිත් පැත්තේ සේලයින් බෝතලයක්. එයාට වම් පැත්තේ මෙෂිමක් වැඩ කරනවා. මූණ වැහෙන්නම ඔක්සිජන් එක දාලා. මට කෑ ගැහිලා ඇඬුනා. නර්ස් මගේ උරෙස්සට පොඩි තට්ටුවක් දැම්මා.... " පස්සේ එයා ළඟටම මාව එක්කන් ගියා. එයාගෙ ඔලුව ඔක්කොම සුදු බැන්ඩේජ් වලින් වෙලලා..... චමත් ඇස් දෙක ඇරියා.... ඒ ඇස් වල තිබූනේ වෙනදාවගේම ආදරයක් " අර නර්ස් ඔක්සිජන් එක පොඩ්ඩක් මෙහාට කලා " අඬන්න එපා කෙල්ලේ..." අමාරුවෙන් කිව්වා... මට තව ටිකක් හයියෙන් ඇඬෙන්න ගත්තා.... " මට ඔයාව බලන්න ඕනෙ උනා ඒකයි කරදර කලේ" එයා වෙලාවකට කතා කලේ හුස්ම හිර වෙවී. මම වෙලුම් පටි වලින් බන්දලා තිබ්බ ඒ අත අල්ල ගත්තා. " ඔයාට ගොඩාක් අමාරුයි චමත්" මටත් ඒ අමාරුව දැනනවා වගේ දැනුනා... " මට හොඳයි දැං" එයා එහෙම කිව්වා. ඔව් හොඳ වෙන්න ඕනේ.. නැත්නම් මෙච්චර තුවල වෙලා මාත් එක්ක කතා කරගන්න පුලුවන් වෙන්නේ කොහොමද? මම පුංචි සතුටක් ආවා. " අද මට ඕල් ද බෙස්ට් කියන්නේ නැද්ද?" එයා හදිස්සියේම එහෙම ඇහුවා. " ඒ ඇයි..?" මට ඉබේටම ඇහුනා " අද දවසට" එයා අමාරුවෙන් හිනා උනා" මම මගෙ මුළු හදවතින්ම ඕල් ද බෙස්ට් කිව්වා. ඒක අහලා එයාගේ ඇහැකින් එක කඳුලක් කඩාගෙන වැටුනා. මම මගේ ජීවිතේ පළවෙනි වතාවට එයාගෙ ඇස් වල කඳුළු දැක්කේ... මගේ ඇස් දෙක ආයේ තෙත් උනා. ඒ එක්කම අර නර්ස් ඇවිල්ලා චමත්ගෙ නහයට ඔක්සිජන් එක දැම්මා. ඊට පස්සේ මා ළඟට ඇවිල්ලා රෝද පුටුව පස්සට ඇද්දා " මට මෙතන ඉන්න බැරිද සිස්ටර්" මට එක පාරටම එහෙම ඇහුනා " මෙතන කාටවත් ඉන්න දෙන්නේ නෑනෙ... " එයා මාව ආයේ වෝඩ් එකට ගෙනිච්චා " අද එයාට හොඳයි.... එයා ඊයේ වෙනකං කතා කරගන්නවත් බැරුව හිටියේ.... " නර්ස් මට ඒක කිව්වේ මගේ හිතත් සතුටක් ඇති කරමින්. අනේ ඒ කියන්නේ චමත් ටික ටික සනීප වෙනවා.... සතියකට පස්සේ මට මගේ ඇඳේ නින්ද ගියා. හොඳටම නින්ද ගියා...... මම අළුත් දවසක් පටන් ගන්න වගේ ගොඩාක් දවල් උනාට පස්සේ ඇහැරුනා... අම්මා ඇවිල්ලා හිටියා මගෙ ලඟ, ඒ විතරක් නෙවෙයි, නදී, අරෝ, සුමා... ඔක්කොමලා. මට පොඩි සතුටක් ආවා " දන්නවද නදී අද චමත්ට හොඳයි... එයා මාත් එක්ක කතා කලා" මම සතුටින් කිව්වා. අරෝ එක පාරටම අඬන්න ගත්තා.... සුමාත් අහක බලා ගත්තා... අම්මා මගේ ඔලූව පපුවට තද කර ගත්තා.. එයත් අඬනවා වගේ " ඇයි මේ ඔක්කොමලා?" මම නදී දෙස බැලුවා. නදී බිම බලා ගත්තා.... මොනව නමුත් මොකක් හරි දෙයක් මෙතන තියන බව මට දැනුනා.... " " කියපල්ලකො... ගල් ගිලලාද?" මට ටික වෙන්න තද උනා. " චමත්..... දැං අපි එක්ක නෑ මචං" නදී එක පාරටම කිව්ව දේ මට තේරුනේ නෑ. " චමත් මීට පැය භාගයකට විතර කලිං නැති උනා" නදී පැහැදිලි කලා. මම උඩට ගත්ත හුස්ම පහලට ගන්න බැරි උනා. මමත් මැරුනා වගේ උනා.... අන්තිම වතාවට මගේ කටින් අවසන් ගමනටත් සුභ පැතුවට පස්සේ තව මොනා කරන්නද? මට ඇඬුනේ නෑ. මොනා උනාද දන්නේත් නෑ. මමත් මැරුනාද කොහෙද....





මට නම් කල්පයක් වගේ

ඇස් දෙක අරිනකොට මට පෙනුනෙ සෑහෙන ලොකු එලියක්... දිව්‍යලෝකේ වගේ මට ආයෙ ඇස් දෙක පිය උනා... හරියට ඇස් ඇරිලා වට පිට බලද්දි මට දැනුනේ මම මේ ඉන්නේ දිව්‍යලෝකෙ නෙවෙයි ඉස්පිරිතාලේ. හැම තැනම පෙනුනේ ලේ.. හැම තැනින්ම අහුනේ කෙදිරි ගානවා. මට අත උස්සන්න බෑ. කකුලක් තියනවද දැනෙන්නේ නෑ. මම අනික් අතින් අතයි කකුල්යි දෙකම අල්ලලා බැලුවා. ඒ දෙකම තියනවා. එක පාරටම මට උන හැම දෙයක්ම මතක් උනා.... එක තත්පරයකින්.... අනිතිමට මට ඇහුනේ මම කෑ ගැහුව වචන ටික " අනේ කවුරුත් නැද්ද?" මම ඇස් දෙක පියා ගත්තා.... දෙවියනේ චමත්.... එක පාරටම ඇස් දෙක ඇරුණා.... " අනේ.... අනේ.... " මගෙ වචන හදිස්සි උනා.... ඒ වෙලාවේ වෙලාව කීයද කියලවත් මම දන්නේ නෑ. එතනට නර්ස් කෙනෙක් ආවා. එයාගෙ මූනෙ නම් කිසිම කරුණාවන්ත බවක් තිබ්බේ නෑ. " මොකද මොනවද ඕනේ..?" එයාට මාව පෙනුනේ කරදරයක් වගේ. " චමත්.... කෝ...." මට කියවෙන්නේ නෑ ඇඬෙනවා..... "මොන චමත්ද?" මට කතා කර ගන්න බෑ හිර වෙනවා. අපි දෙන්නා එකටමයි ආවේ.... කොහොමද මම විතරක් මෙතන තනියම ඉන්නේ " දැං වෙලාව රෑ එකයි... ඔනේ කෙනෙක් හොයා ගන්න එළි උනාම... ඉස්පිරිතාලේ අනිත් අය ඇහැරවන්නේ නැතුව" එයා මට සැර දැම්මද කොහෙද? මට ඒකෙ තේරුමක් නෑ. මට හොයාගෙන යන්න හිතුනා... නැගිටගන්න බෑ ඒ උනාට. අනේ දෙයියනේ..... මට උදව් වෙන්න කියලා කෑ ගහන්න හිතුණා. ඒ වෙලාවේ ඉඳලා එළිය වැටෙනකන් මගේ ඇස් පිය උනේ නෑ. එළිය වැටුනට පස්සේ මා ළඟට ඩොක්ටර් කෙනෙක් ආවා. " අනේ ඩොක්ටර්... චමත්.... මම එක්ක ආවේ... එයා කෝ" මම අඬ අඬා ඇහුවා. එයාට දුක හිතෙන්න ඇති. "ඔයා එක්ක ඇසිඩන්ට් වෙලා ආව එක්කෙනාද?" මම ඔලුව වැනුවා, අනේ වචන එන්නේ නෑ කතා කරන්න. " එයා අයි සී යූ එකේ... ඔයා එයාගෙ කවුද?" මට ඉකිගැහෙන්න ගත්තා. එතකොට මම දැක්කා. නදීශ අපේ අම්මත් එක්ක වාට්ටුවට ඇතුල් වෙනවා. හිතේ තියන ඔක්කොම ටික මට එක පාරටම කියන්න ඕනෙ උනා ඒත් කියාගන්න බෑ. අම්මා ඒක දැකලා අඬන්න ගත්තා. " නදී චමත්...." ඔන්න ඔච්චරමයි මගේ කටින් පිට උනේ. " එයා අයි සී යූ .... ඌට මොකුත් වෙන්නේ නෑ... උඹ නාඩා හිටපං" කොහොම ඉන්නද අඬන්නේ නැතුව.. එයාට අමාරුවක් නැත්නම් එයා අයි සී යූ ඉදීද? මට අඬනවා ඇරෙන්න වෙන දෙයක් කියන්නවත් කරන්නවත් පුළුවං කමක් තිබ්බේ නෑ. "අඬන්න එපා බං.... උඹට හොඳ නෑ....උඹට අමාරුවක් නෑ නේද" මට අමාරුවක් දැනෙන්නේ නෑ. ඇඟේ අමාරුවට වඩා මගේ හිත කකියනවා. " එයාට මොකද වෙලා තියෙන්නේ නදීශ...." ඉකි ගහන අස්සේ මට ඇහුණා. "ඌ ටිකක් තදට හැප්පිලානෙ ඒ නිසා දැං ඔපරේෂන් එකක් කරලා අයි සී යූ දැම්මා. ඌට හරි යයි බං." මම නැගිටින්න හැදුවා. " මාව ගෙනියන්න එයා ලඟට නදී" මම වැන්දෙ නැති ටික විතරයි. "උඹට නැගිටින්න හොඳ නෑ කෙල්ලේ... උඹට පොඩ්ඩක් ශේප් උනාම අපි යමු" අපේ අම්මා කිසි දෙයක් කතා කලේ නෑ. එයා මගේ දිහා ඔහේ බලාගෙන හිටියා. "අම්මේ... මට මොකද වෙලා තියෙන්නේ..." මම ඇහුවා ඒත් එයාගේ උත්තරේ වෙනුවට මට ලැබුනේ ලොකු හුස්මක්. මට යන්න ඕනෙ මගේ චමත් බලන්න ඒත් කවුරුත් මාව ගෙනියන්නේ නෑ. කාටවත් ඒක තේරෙන්නේ නෑ. හැම වෙලේම මම හිටියේ තනි වෙලා. අම්මා ඇවිල්ලා ලෙඩ්ඩු බලන පැයම හිටියට මගේ තනිය මැකුනේ නෑ. මම ජීවත් උනේ පණ පිටින් මැරි මැරී...

අවසාන මල් දැක්ම

ගෑනු හිත කියන්නේ මහ පුදුම එකක්... මොකද ඇත්තටම ඇත්ත ආදරයක් කෙල්ලෙක්ට ඇති උණොත් ඒකට ඇබ්බැහි වෙනවා. මක්කරලවත් ඒ ඇබ්බැහිය අත ඇරගන්න බැරි වෙනවා. මම මේ බණ කියනවා නෙවෙයි. මටත් උන නිසයි මම මේ කියන්නේ.... උදේ නැගිට්ට වෙලාවේ ඉදං රෑට නිදා ගන්න යනකන්ම හිත සෑහෙන්න පිරිලා වගේ. හැමදාම අළුත් දවසක්. කොච්චර කල් ගියත් ඒක වෙනස් උනේ නෑ. අවුරුදු 6කටත් වඩා කාලයක් අපි දෙන්නා ආදරේ කලා. මම හිතන්නේ කවදාවත් ඒ ආදරේ අඩුයි කියලා අපි දෙන්නාටම දැනුනෙ නෑ. මම හිතන්නේ දවසින් දවස, මොහොතෙන් මොහොත ඒ ආදරේ වැඩි උනා. දිල්වාලේ දුලනියා ලේජායෙන්ගේ බලලා අපි සැසදුවේ ඒ ආදරේ අපේ ආදරේ එක්ක. හිනාත් යනවා. වෙලාවකට මාර බොලඳයි. ඒත් ආදරේ කවදත් කොතැනත් බොලඳයි. බොලඳ නැති ආදරයක් ගැන කොහෙවත් කතා කරන්න බෑ. ගම්පෙරළියේ නන්දගෙයි පියල්ගෙයි ආදරේත් බොලඳයි, ගැහැණු ළමයිගේ නිමල්ගෙයි කුසුම්ගෙයි ආදරෙත් බොලඳයි, දම්මිගෙයි සුදත්ගෙයි ආදරෙත් බොලඳයි. ඒ වගේ ආදරේ කරන හැමකෙනාම ආදරයදි බොලඳයි. මට එහෙම අනන්තවත් හිතිලා තියනවා. උදේ හැම වැඩේටම ඉස්සල්ලා චමත් මට කෝල් එකක් දෙන්න පුරුදු වෙලා හිටියා.... වෙලාවකට ඒ කෝල් එක වචන දෙකයි තුනයි. "ගුඩ් මෝනිං.... මට ඕල්ද බෙස්ට් කියන්න අද දවසට" ඔච්චරයි. මමත් ඉතිං කට පුරා හිත පුරා ඕල් ද බෙස්ට් කියනවා.... ඒ දවස එයාට වසානවන්තයිලු. අනේ මන්දා.... ඒකත් ආදරයේ අතුරු ඵලයක්ද කොහෙද.
ගෙවල් වලින් සුපුරුදු පීඩනය එන්න පටන් ගත්තා... ඒ කසාද බඳින්න. අපේ නම් කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ. ඒත් චමත් බිස්නස් වලින් ටිකක් උඩට එන්න සෑහෙන්න මහන්සි වෙමින් හිටියා. ඒ නිසා මගෙන් කවදාවත් එයාට කරදරයක් තිබුනේ නෑ. ඒත් අපේ අම්මලාට ඕවා ගැන තේරුමක් නෑ. එයාලට ආස තියෙන්නේ මම මනමාලියක් වෙනවා දකින්න. ඒ නිසා දිගින් දිගටම කරන ඉල්ලීම් නිසා අපි දෙන්නත් එයලගේ තීරණයට හිස නවන්න තීරණය කලා. හැම දෙයක්ම එක්ක අපිට වෙඩිං එකටත් ලෑස්ති වෙන්න උනා. කොච්චර වැඩද. එහෙන් ඔෆිස්.... ඒ අස්සේ ඉගෙන ගැනීම් තව කොච්චර දේවල්ද. අපි ඒ හැම දෙයක්ම අතපසු නොකර ටික ටික වෙඩිං එකට ලෑස්ති උනා. දවසක් හවසක චමත්ගෙන් මට කෝල් එකක් ආවා. " අර අපේ කාඩ් එක නිකං හිස් හිස් වගේ කියලා අම්මා කියනවානේ" එයා කතා කලේ වෙඩිං කාඩ් එක ගැන. " ඉතිං එහෙනම් වෙන එකක් බලමු චමත්" මම කවදාවත් එයාගේ අම්මගෙ කීමකට පිටින් වැඩ කරන්න කැමති තිබුනේ නෑ. " මම අද ඔයාව ගෙනියන්න එන්නම්.... අපි මෙකේ ඉස්සරහට අලවන්න පොඩි මල් දෙකක් ගමු. දැං කාඩ් ඔක්කොම අරං ඉවරනේ...." මමත් ඒ යෝජනාවට සතුටු උනා. " ඔෆිස් ඇරිලා තමයි එන්න වෙන්නේ.. අද මට ගොඩාක් වැඩ චමත්" මම එහෙම කිව්වේ මගේ මේසෙ උඩ තිබ්බ ෆයිල් ගොඩ දිහා බල බලා. " හරි හරි මම බයික් එකේ එන්නම් එතකොට ඉක්මනට කරන එකක් කරගෙන යන්න පුලුවන්නේ... අනික ඔය තැන් වලට ගිහින් පාර්කින් හොය හොයා ඉන්න ඕනෙත් නෑනෙ..." මගේ හිතට එච්චර සතුටක් තිබ්බේ නෑ එයා බයික් එකේ එනවට. " ඒත් බයික් එකේ රෑ.... මට මොකද්ද වගේ චමත්" චමත් හයියෙන් හිනා උනා " ඇයි ඔයාට බයයි වගේද? මාත් එක්ක රෑ බයික් එකේ ගමන් බිමන් යන්න" එයා ඒක කිව්වේ කිණ්ඩියට. හිතට හරි නැති උනත් මම එයාගෙ කැමත්තට ඉඩ දුන්නා. අපි ඔෆිස් ඇරිලා මල් බලන්න ගියා. මල පනිනවා, සෑහෙන වෙලාවක් ගියා. ඒත් කොහොම හරි කරගෙන අපි ගෙදර එන්න පිටත් උනා. රෑ නවයටත් ළඟ නිසා චමත් ටිකක් හයියෙන් ආවේ. " මාර වැඩේ ඛ්‍රේක් එක වෙලාවකට වැදෙන්නේ නෑනෙ" එක පාරටම චමත් ටිකක් හයියෙන් කෑ ගහුවා. " අනේ දෙවියනේ ස්පීඩ් එක අඩු කරන්න..... " ඒත් චමත්ට ඒක කර ගන්න බැරි උනා.... ඛ්‍රේක් එක පෑගුවාට ඒක වැදුනේ නෑ. බයික් එක බැලන්ස් නැති උනා මාව විසි වෙලා ගියා.... මම යටිගිරියෙන් කෑ ගහද්දි චමත් සෑහෙන්න ස්පීඩ් එකේ ආවා බස් එකකට හැප්පුනා. ඒත් එයාට කොන්ට්‍රෝල් නෑ. එයාව එතනිනන් විසි වෙලා ඇවිත් බස් එක ඕවර්ටේක් කරපු පස් ලොරියේ හැප්පුනා... මට එච්චරයි මතක.... මුලු ලෝකෙම කලුවර උනා.

රෝන්ග් නම්බර්

නදීට රස්සාවක් හම්බ උනා බැංකුවක... එදා අපි ඔක්කොටම ගොඩාක් සතුටු දවසක්. අවුරුදු හතරකටත් වඩා එයාලා හිටියෙ කඩ කාමරෙක. උයන්න, නිදා ගන්න, කන්න, බොන්න හැම දේටම තිබුනෙ එකම එක කාමරයයි. නොවිඳිනා දුක් වින්ඳත් එයාල හිටියෙ සතුටින්. ආදරේ ලඟ තියනකොට එහෙම තමයි. නදීට රස්සව හම්බ වෙලා මාස හයක් විතර යනකොට එයාලට පුංචි ගේ කෑල්ලක් කුලියට ගන්න පුලුවන් උනා. හැමදාම වගේ අපේ ගැන්සියම හිටියා එයාලට උදව් කරන්න, සල්ලි වලින් වගේම හැම දේකින්ම. එයාල අලුත් ගෙදරට ගිය දවසේ මට තිබුනෙ ඉහවහා ගිය සතුටක්, අපි එදා කට්ටියම එකතු වෙලා ඒ ගෙදර තුන් වරු පිරිතක් කියෙව්වා. සෙනූ එතකොට කසාද බැඳලා. ඒ උනාට කවමදාවත් මිනිහා එක්ක ගමනක් බිමනක් ගියේ නෑ. එයාට බඳින්න උනේ ප්‍රොපෝසල් එකකින්. අහුවාම අර අහිංසකයාට බනිනවා. " මම නම් යයි ඕකත් එක්ක ජෝඩු දාලා" ඔන්න ඔහොමයි කියන්නේ. ජම්මාන්තර වෛරයක් තිබුනේ.... මොනා උනත් කසාද මිනිහානේ. ඒත් අපේ ශෙහාන්ට, රොමේෂ්ට ඔය ටික අතිනේ. ඔන්න අපි එකතු වෙලා රෑට කන්න කෑම හදද්දී කොල්ලො සෙට් වෙලා හිටියේ.... සෙනූට කෝල් එකක් ආවා. " අනේ ශේහාන්... මගේ ෆෝන් එක ගනිංකෝ මගේ අතේ මාළු..." සෙනු කුස්සියේ ඉදලා කතා කලා. ශෙහාන් ෆෝන් එක ගත්තා. " හලෝ" ශෙහාන් හරිම සාවදානයෙන් කතා කලා " සෙනූ කෝ" කියලා එහා පැත්තේ පිරිමි කටහඩකින් ඇහෙනවා. " සෙනූ වොෂ් එකක් දාන්න ගියා... කවුද කතා කරන්නේ...?" ශෙහාන්ගෙ කතාවෙන් එහා පැත්තෙන් කතා කරන එක්කෙනාට මල පැන්න වගේ උනා " තමුසෙ කවුද කතා කරන්නේ..." ටිකක් සැරෙන් එහා පැත්තෙන් ඇහෙනවා." මම කවුද.....?ඇයි උප්පැන්නේ ලියන්නද?...." ඔන්න ශෙහානුත් ටික වෙන්න තද කරගෙන. " තමුසෙ කවුද ඕයි මගේ ගෑනිගේ ෆෝන් එක ආන්සර් කරන්න" එහා පැත්තෙන් ආයේ කෑ ගහනවා. " ඉතිං තමුසෙගෙ ගෑනිගේ ෆෝන් එකට කෝල් දෙනවා... මේක මාර කෙලියක්නෙ" අපිටත් දැං මේක හිතා ගන්න බෑ. මොනා වෙනවද කියලා.. ශෙහාන්ටත් මල පැනලා. " මගෙ ගෑනිගේ ෆෝන් එකට තමයි ඕයි මේ කතා කරන්නේ... තමුසෙ මොන හාල් පාරුවෙක්ද?" දැං මෙතන නිකන් මිනීමැරුමක් වෙන්න එනවා වගේ සීන් එකක් යන්නේ.... " මේක කොහොමද තමුසෙගේ ගෑනිගේ ෆෝන් එක වෙන්නේ... මේක අපේ සෙනූගෙනෙ" ශෙහාන් තද වෙලා කියවනවා... ඒක අහුවාම නදී ඔලුවේ අත ගහ ගත්තා..... " සෙනු කියන්නේ මගෙ ගෑනි තමයි ඕයි" කියලා එහෙන් කිව්වා.... "ශෙහාන්ට දැං වැඩේ නෝන්ඩි බව මීටර් උනා "ආහා ඔයාගෙ ගෑනිද?, ඉතිං මම ඉල්ලුවාද? ඔච්චර තරහ ගන්න එපා... ඔයා තියා ගන්න" කියලා මූ ෆෝන් එක තිබ්බා... සෙනූ මහ ලොකුවට පඬි ටෝක් දැම්මට අම්බානකට බය වෙලා. "තමුසෙ දැං ඒ මොකද්ද කලේ... මම ගෙදර යන්නේ කොහොමද දැං?" සෙනූ අත් දෙකේම නියපොතු කනවා. " හරි වැඩක්නේ.. උඹ හිතුවද මම සක්‍රයා කියලා.... උඹ උපන් තේකට උඹට මිනිහෙක් ඉන්නව කියලා අඟවලා තියනවාද? මට අමතක උනා උඹ බැඳලා කියලා" ශෙහාන් ඇඟට නොදැනී කියලා දැම්මා....
කොහොම හරි නදීශයි, චමතුයි එකතු වෙලා සෙනූගෙ හස්බන්ස්ට පහදලා දුන්නා ඒක විහිළුවක් කියලා. ඒ නිසා බේරුනා.... නදීනම් කිව්වෙ එයා තමයි ගොඩාක්ම බය උනේ කියලා.. මොකද අරෝ මදිවට සෙනූවත් භාර ගන්න වෙයි කියලා....


මඟුලක් කතා කරනවා....

අපේ ලෝකේ තිබුණ වැඩත් එක්ක අපිට අපිව අමතක වේගෙන ආවා. චමත් කැම්පස් ගිහින් ඉගෙන ගත්ත එක ඇත්ත ඒත් මට යන්න උනේ නෑනෙ. මම ඉතිං ඔන්න ඔහේ එක්ස්ටර්නල් ඩිග්‍රියට සෙට් උනා. සෙනසුරාදා ඉරිදා දෙකේම ක්ලාස්. බයක් වෙන්න දෙයක් තිබ්බේ නෑ මට ට්‍රාන්ස්පෝට් දෙන්න චමත් හිටියා. අපි අතර විශ්වාසය බොහෝ දුරට තිබුණා. ඒ වගේම එතකොට අපි දෙන්න යාලූ වෙලා අවුරුදු පහකට වැඩියි. කවදාවත් එයා මටවත් මම එයාටවත් එක වචනෙකින්වත් බැනලා නෑ. කවමදාවත් වලියක් ගිහිනුත් නෑ. තරහ කියන වචනේ අපේ ශබ්දකෝෂයේ තිබුණෙත් නෑ. අපි අතර තිබුණු බැදීම කාටත් පෙනුනේ ආදරේකට වඩා බුදු ෆිට් එකක් විදියට. චමත් එයාට වෙන හැමදෙයක්ම කියන්න පුරුදු වෙලා හිටියා. මාත් එහෙමයි. අපි අතරේ රහස් තිබ්බේ නෑ කියලයි මම හිතන්නේ. ඒ හැමදේටම වඩා අපි අපිටම රිද්ද ගන්න බය උනා. මම එහෙම කිව්වේ මම එයාට රිද්දුවත් අයේත් අන්තිමට ඒක රිදුනේ මට නිසා. සුමා එහෙම මට බැන්නේ එළ හරකෙක් කියලා. "කියන හැමදේම විශ්වාස කරන්න එපා බං. කොල්ලොන්ව ගානකට තියා ගනිං. නැත්නම් උන් ඕන වරදක් කරලා හොරී ගායි. ඒත් උඹ ඒකට කමක් නෑ කියලා සමාව දෙයි" කිය කියා මට ඇඩ්වයිස් දුන්නා. ඒත් මම මගේ චමත්ව මටත් වඩා විශ්වාස කලා. එයා මම දැනුවත්ව කවදාවත් ඒ විශ්වාසෙ කැඩුවේ නෑ.
ඉතිං අර ට්‍රාන්ස්පෝට් එක දෙන්න එයා හවසට මාව ගන්න ආව දවසක මම මගේ යාලුවෙක්ව එයාට අදුන්වලා දුන්නා. එයාගෙ නම මධු.... එයා හිට්යේ මාලබේ පැත්තේ... ඉතිං අපි හැමදාම එයාව මහරගමට ගෙනත් බස්සන්න පුරුදු වෙලා හිටියා. ඒත් ටික දවසක ඉඳලා මම පොඩි වෙනසක් චමත්ගේ දැක්කා. ඒ මධූ පිටිපස්සේ සීට් එකට නැග්ගාම අර පිටිපස්ස බලන කණ්ණාඩිය මධුට ෆෝකස් කරන්න චමත් පුරුදු වෙලා හිටියා. මුලින් මම ගනන් ගත්තේ නෑ, ඒත් ඒක පුරුද්දක් වෙන්න ගත්තා. ඉතිං පස්සේ මධූ එදා බැස්සට පස්සේ මම චමත්ගෙන් ඇහුවා " මධු හරි ලස්සනයි නේද?" කියලා චමත් හිනා උනා " ඔව්නේ මාරයි." කිව්වා. " මොකද කියන්නේ ඔයාට සෙට් කරලා දෙන්නද?" මම එහෙම අහුවා.... " අන්න වැඩේ පුලුවන් නම් කරලා දෙනවකෝ ලොකු උදව්වක් " කියලා චමත් කිව්වා. මම දන්නවා එහෙම චමත් කිව්වේ විහිළුවට කියලා. කොල්ලෙක් ලස්සන දෙයක් දිහා බලන එක වරදක් නෙවෙයි. මම හිතුවේ එහෙමයි. කොල්ලෙක් උනාම ලස්සන කෙල්ලෙක් දිහා නොබැලුවොත් ඒක කොලු කමටත් අපහාසයක්. අපි අපේ ඇස් පිනවන්න ආසයි. මම හිතන්නේ ඒකට කොල්ලෝ වැඩියම ආසයි. ඉතිං පහුවෙනිදා ඉරිදා එදත් මධූ පිටිපස්සේ සීට් එකේ ඉඳගත්තා. චමත් අර විදියටම කණ්ණාඩිය හැදුවා. මම මධූ දිහා බැලුවා " ඔයා දන්නවද මධූ අපේ චමත්ට ඔයා ගැන කැමත්තක් ඇති වෙලා.. මට බෙරිල්ලක් නෑ අහන්න කියලා" මම ඇඟට නොදැනී කියලා දැම්මා.... මධුගෙ මූණ ලැජ්ජාවෙන් පිරෙනවා මම දැක්කා. එයාට කාර් එකෙන් එළියට පනින්න හිතෙන්න ඇති. මට මම කියපු එකේ බර තේරුනේ මධු බැස්සට පස්සේ..." අනේ මොකද්ද දුලා ඒ කලේ" කියලා අහද්දී චමත්ගේ මූණ දැකලා. මට පව් කියලා හිතුණා.... ඒත් එතකොට මම කියන්න ඕනෙ ටික කියලානේ... ඊට පස්සේ මධූ අපේ කාර් එකේ එන එක මඟ ඇරියා. මම වැරදිකාරියක් වගේ උනා. " නෑ දුලා ඔයා වැරදි නෑ මමයි වැරදි" මම දුක් වෙනකොට චමත් එහෙම කිව්වා. ඒ මොනා උණත් මම දන්නවා මම වරදක් කලේ.... මධූගෙ හිත විතරක් නෙවෙයි මම චමත්ගේ හිතත් එදා රිද්දන්න ඇති. ඒ නිසා තාමත් ඒක මතක් වෙද්දි මගේ හිතත් රිදෙනවා.




නියම මධුසමය....

රොමේෂ්ගෙ වෙඩිං එක තිබ්බේ තරු පහේ හෝටලේක. ඉස්කෝලෙ ඔක්කොම යාලූවන්ට ඉන්වට් කරලා තිබ්බා. ඒත් නැගලා යාමක් නෑ. ඔහේ යනවා. කන පැලෙන්න බෝරිං. ඒත් ඉතිං මොක්කොරන්නද? ඔක්කොමලා කනවා බොනවා. අරෙහෙ මෙහෙ යනවා සිරික්කිය දාගෙන ඔහොම තමයි. ඔය අතරේ චමතුයි නදීයි එකතු වෙලා සෑහෙන්න බරපතල වැඩක් කර කර හිටියේ " ශෙහා උඹට හොඳටම ෂුවර්ද අරූගෙ බෑග් එක කාර් එකේ තිබ්බා කියලා. " නදී අහනවා. " ඔව් ඔව් බං... මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා මල්ල කාර් එකට රිංගනවා...."චමත් එතනින් නැගිට්ටා "එහෙනම් වරෙං යන්න.. පරක්කු නැතුව" ඔන්න මුන් තුන් දෙනා අපිව මෙතන දාලා එළියට බැස්සා. " අරෝ කොහෙද බං අර යන්නේ" මගේ කට මටම අකීකරු උනා " දන්නේ නැද්ද? රොමේෂ්ගෙ හනි මූන් යන ඇඳුම් බෑග් එක මාරු කරන්න යන්නේ..." අරෝ හිනා වෙවී කිව්වා " ඉතිං මාරු කරලා?" මමත් ඉතිං තොත්ත බබානෙ ඒ කාලේ.... මට මෙලෝ හරුපයක් තේරෙන්නෙ නෑ. "මුන් ඌට ගෙනියන්න යට ඇඳුම් නැති බෑග් එකක් ලෑස්ති කරලා" අරෝ මගේ කනට ලං කරලා කිව්වා... " මට බකස් ගාල හිනා ගියා. " පව් බං" මට එහෙම කියවුනා. ඔන්න වැඩේ ගානට දීලා චමතුයි, නදීයි, ශෙහානුයි අපි ලඟට ඇවිත් වාඩි උනා. " කොහොමද වැඩේ...?" අරෝ කතා කලා " එළ එළ..." නදී හිනා වෙවී උත්තර දුන්නා. ඉතිං මුන් දැං පිටත් වෙන්නත් වෙලාව හරි යාගෙන ආවේ. රොමේෂ් පුරුද්දට වගේ අපි ලඟට ආවා." මට ඇඟට හරි නෑ... උඹලා ඔක්කොම හොඳට ගහලා.... මට විතරක් මොකුත් නෑ...." එහෙම තමයි බං මනමාලයා උනාම. " අනේ මන්දා... මූඩියක් දැක්කත් දැං හිත ඉල්ලනවා බං... කොහෙද පාන්දර ඉදං මේ ඉලව්වට නැහෙනවා.... " රොමේෂ් අපි ලඟට වෙලා අඬන්නේ හරි පොඩි එකෙක් අම්ම ලඟට වෙලා අඬනවා වගේ " ඒක නෙවෙයි මල්ලි... උඹට ඕනෙ හැම දෙයක්ම බෑග් එකට දාගත්තා නේද? නුවර එළියනේ ගමන" ශෙහාන් වැඩේ කන්න හදන නිසා අනිත් ඔක්කොම ඌව කන්න වගේ බලාගෙන හිට්යා. " ආයෙ අහලා... අපේ අම්මා තමයි පැක් කලේ..." අනේ පව් දැං ඉතිං නැති වෙලා තියන හැම දේටම වැරදි කාරයා වෙන්නේ රොමේෂ්ගෙ අහිංසක අම්මා.... " එහෙනම් මචං උඹ හෙට පාන්දරම උඹලෑ අම්මට කෝල් එකක් දීලා සෑහෙන්න අම්මාව මතක් කරයි නේ" නදීගේ කතාවට රොමේෂ්ගේ මූන අර නරක කතාවක් කියද්දි එනවා වගේ හැදීගෙන ආවා. " ඇයි බං.... දන්නෙනැති නිසා අහන්නේ.. උදේට එච්චරටම අමාරුද?" නදීට කට උත්තර නැති උනා. බයිට් කලේ කාවවත්, බයිට් උනේ කවුරුවත්.
ඔන්න ඔක්කොමලාගෙන්ම ආශිර්වාදය මැද ඒ දෙන්නා හනි මූන් එකට නුවර එළිය බලා පිටත් උනා. අපිත් කාපු බීපු තැන් වල ලගින්නේ නැතුව ගෙදර ආවා. එන අතරතුර රොමේෂ්ගෙන් කෝල් එකක්. " ඈ යකෝ මගෙ හොඳ වෙලාවට මම බෑග් එක ඇරියේ... තොපි මගේ බෑග් එක ගෙනල්ලා දීපල්ලා හොඳ හිතිං. " අරෙහෙ ඉඳං කෑ ගහනවා. අපි ඔක්කොටම හිනා. ඉතිං අර අහන්න බැරි තරම් හරුපත් ඒ අස්සේ පිට වෙනවා. තරහට නෙවෙයි ජොලියට. කොහොමහරි. හවසම නදියි, චමතුයි රොමේෂ්ගේ ඇදුම් බෑග් එක ගිහින් දෙන්න ගියා. ඇත්තම කියනවා නම් එතන නැති වෙලා තිබ්බේ යට ඇඳුම් නෙවෙයි. ඒකෙ පිරිලා තිබිලා තියෙන්නේ යට ඇදුම් වලින් විතරයි.