අවසාන මල් දැක්ම

ගෑනු හිත කියන්නේ මහ පුදුම එකක්... මොකද ඇත්තටම ඇත්ත ආදරයක් කෙල්ලෙක්ට ඇති උණොත් ඒකට ඇබ්බැහි වෙනවා. මක්කරලවත් ඒ ඇබ්බැහිය අත ඇරගන්න බැරි වෙනවා. මම මේ බණ කියනවා නෙවෙයි. මටත් උන නිසයි මම මේ කියන්නේ.... උදේ නැගිට්ට වෙලාවේ ඉදං රෑට නිදා ගන්න යනකන්ම හිත සෑහෙන්න පිරිලා වගේ. හැමදාම අළුත් දවසක්. කොච්චර කල් ගියත් ඒක වෙනස් උනේ නෑ. අවුරුදු 6කටත් වඩා කාලයක් අපි දෙන්නා ආදරේ කලා. මම හිතන්නේ කවදාවත් ඒ ආදරේ අඩුයි කියලා අපි දෙන්නාටම දැනුනෙ නෑ. මම හිතන්නේ දවසින් දවස, මොහොතෙන් මොහොත ඒ ආදරේ වැඩි උනා. දිල්වාලේ දුලනියා ලේජායෙන්ගේ බලලා අපි සැසදුවේ ඒ ආදරේ අපේ ආදරේ එක්ක. හිනාත් යනවා. වෙලාවකට මාර බොලඳයි. ඒත් ආදරේ කවදත් කොතැනත් බොලඳයි. බොලඳ නැති ආදරයක් ගැන කොහෙවත් කතා කරන්න බෑ. ගම්පෙරළියේ නන්දගෙයි පියල්ගෙයි ආදරේත් බොලඳයි, ගැහැණු ළමයිගේ නිමල්ගෙයි කුසුම්ගෙයි ආදරෙත් බොලඳයි, දම්මිගෙයි සුදත්ගෙයි ආදරෙත් බොලඳයි. ඒ වගේ ආදරේ කරන හැමකෙනාම ආදරයදි බොලඳයි. මට එහෙම අනන්තවත් හිතිලා තියනවා. උදේ හැම වැඩේටම ඉස්සල්ලා චමත් මට කෝල් එකක් දෙන්න පුරුදු වෙලා හිටියා.... වෙලාවකට ඒ කෝල් එක වචන දෙකයි තුනයි. "ගුඩ් මෝනිං.... මට ඕල්ද බෙස්ට් කියන්න අද දවසට" ඔච්චරයි. මමත් ඉතිං කට පුරා හිත පුරා ඕල් ද බෙස්ට් කියනවා.... ඒ දවස එයාට වසානවන්තයිලු. අනේ මන්දා.... ඒකත් ආදරයේ අතුරු ඵලයක්ද කොහෙද.
ගෙවල් වලින් සුපුරුදු පීඩනය එන්න පටන් ගත්තා... ඒ කසාද බඳින්න. අපේ නම් කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ. ඒත් චමත් බිස්නස් වලින් ටිකක් උඩට එන්න සෑහෙන්න මහන්සි වෙමින් හිටියා. ඒ නිසා මගෙන් කවදාවත් එයාට කරදරයක් තිබුනේ නෑ. ඒත් අපේ අම්මලාට ඕවා ගැන තේරුමක් නෑ. එයාලට ආස තියෙන්නේ මම මනමාලියක් වෙනවා දකින්න. ඒ නිසා දිගින් දිගටම කරන ඉල්ලීම් නිසා අපි දෙන්නත් එයලගේ තීරණයට හිස නවන්න තීරණය කලා. හැම දෙයක්ම එක්ක අපිට වෙඩිං එකටත් ලෑස්ති වෙන්න උනා. කොච්චර වැඩද. එහෙන් ඔෆිස්.... ඒ අස්සේ ඉගෙන ගැනීම් තව කොච්චර දේවල්ද. අපි ඒ හැම දෙයක්ම අතපසු නොකර ටික ටික වෙඩිං එකට ලෑස්ති උනා. දවසක් හවසක චමත්ගෙන් මට කෝල් එකක් ආවා. " අර අපේ කාඩ් එක නිකං හිස් හිස් වගේ කියලා අම්මා කියනවානේ" එයා කතා කලේ වෙඩිං කාඩ් එක ගැන. " ඉතිං එහෙනම් වෙන එකක් බලමු චමත්" මම කවදාවත් එයාගේ අම්මගෙ කීමකට පිටින් වැඩ කරන්න කැමති තිබුනේ නෑ. " මම අද ඔයාව ගෙනියන්න එන්නම්.... අපි මෙකේ ඉස්සරහට අලවන්න පොඩි මල් දෙකක් ගමු. දැං කාඩ් ඔක්කොම අරං ඉවරනේ...." මමත් ඒ යෝජනාවට සතුටු උනා. " ඔෆිස් ඇරිලා තමයි එන්න වෙන්නේ.. අද මට ගොඩාක් වැඩ චමත්" මම එහෙම කිව්වේ මගේ මේසෙ උඩ තිබ්බ ෆයිල් ගොඩ දිහා බල බලා. " හරි හරි මම බයික් එකේ එන්නම් එතකොට ඉක්මනට කරන එකක් කරගෙන යන්න පුලුවන්නේ... අනික ඔය තැන් වලට ගිහින් පාර්කින් හොය හොයා ඉන්න ඕනෙත් නෑනෙ..." මගේ හිතට එච්චර සතුටක් තිබ්බේ නෑ එයා බයික් එකේ එනවට. " ඒත් බයික් එකේ රෑ.... මට මොකද්ද වගේ චමත්" චමත් හයියෙන් හිනා උනා " ඇයි ඔයාට බයයි වගේද? මාත් එක්ක රෑ බයික් එකේ ගමන් බිමන් යන්න" එයා ඒක කිව්වේ කිණ්ඩියට. හිතට හරි නැති උනත් මම එයාගෙ කැමත්තට ඉඩ දුන්නා. අපි ඔෆිස් ඇරිලා මල් බලන්න ගියා. මල පනිනවා, සෑහෙන වෙලාවක් ගියා. ඒත් කොහොම හරි කරගෙන අපි ගෙදර එන්න පිටත් උනා. රෑ නවයටත් ළඟ නිසා චමත් ටිකක් හයියෙන් ආවේ. " මාර වැඩේ ඛ්‍රේක් එක වෙලාවකට වැදෙන්නේ නෑනෙ" එක පාරටම චමත් ටිකක් හයියෙන් කෑ ගහුවා. " අනේ දෙවියනේ ස්පීඩ් එක අඩු කරන්න..... " ඒත් චමත්ට ඒක කර ගන්න බැරි උනා.... ඛ්‍රේක් එක පෑගුවාට ඒක වැදුනේ නෑ. බයික් එක බැලන්ස් නැති උනා මාව විසි වෙලා ගියා.... මම යටිගිරියෙන් කෑ ගහද්දි චමත් සෑහෙන්න ස්පීඩ් එකේ ආවා බස් එකකට හැප්පුනා. ඒත් එයාට කොන්ට්‍රෝල් නෑ. එයාව එතනිනන් විසි වෙලා ඇවිත් බස් එක ඕවර්ටේක් කරපු පස් ලොරියේ හැප්පුනා... මට එච්චරයි මතක.... මුලු ලෝකෙම කලුවර උනා.

0 comments:

Post a Comment