නියම මධුසමය....

රොමේෂ්ගෙ වෙඩිං එක තිබ්බේ තරු පහේ හෝටලේක. ඉස්කෝලෙ ඔක්කොම යාලූවන්ට ඉන්වට් කරලා තිබ්බා. ඒත් නැගලා යාමක් නෑ. ඔහේ යනවා. කන පැලෙන්න බෝරිං. ඒත් ඉතිං මොක්කොරන්නද? ඔක්කොමලා කනවා බොනවා. අරෙහෙ මෙහෙ යනවා සිරික්කිය දාගෙන ඔහොම තමයි. ඔය අතරේ චමතුයි නදීයි එකතු වෙලා සෑහෙන්න බරපතල වැඩක් කර කර හිටියේ " ශෙහා උඹට හොඳටම ෂුවර්ද අරූගෙ බෑග් එක කාර් එකේ තිබ්බා කියලා. " නදී අහනවා. " ඔව් ඔව් බං... මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා මල්ල කාර් එකට රිංගනවා...."චමත් එතනින් නැගිට්ටා "එහෙනම් වරෙං යන්න.. පරක්කු නැතුව" ඔන්න මුන් තුන් දෙනා අපිව මෙතන දාලා එළියට බැස්සා. " අරෝ කොහෙද බං අර යන්නේ" මගේ කට මටම අකීකරු උනා " දන්නේ නැද්ද? රොමේෂ්ගෙ හනි මූන් යන ඇඳුම් බෑග් එක මාරු කරන්න යන්නේ..." අරෝ හිනා වෙවී කිව්වා " ඉතිං මාරු කරලා?" මමත් ඉතිං තොත්ත බබානෙ ඒ කාලේ.... මට මෙලෝ හරුපයක් තේරෙන්නෙ නෑ. "මුන් ඌට ගෙනියන්න යට ඇඳුම් නැති බෑග් එකක් ලෑස්ති කරලා" අරෝ මගේ කනට ලං කරලා කිව්වා... " මට බකස් ගාල හිනා ගියා. " පව් බං" මට එහෙම කියවුනා. ඔන්න වැඩේ ගානට දීලා චමතුයි, නදීයි, ශෙහානුයි අපි ලඟට ඇවිත් වාඩි උනා. " කොහොමද වැඩේ...?" අරෝ කතා කලා " එළ එළ..." නදී හිනා වෙවී උත්තර දුන්නා. ඉතිං මුන් දැං පිටත් වෙන්නත් වෙලාව හරි යාගෙන ආවේ. රොමේෂ් පුරුද්දට වගේ අපි ලඟට ආවා." මට ඇඟට හරි නෑ... උඹලා ඔක්කොම හොඳට ගහලා.... මට විතරක් මොකුත් නෑ...." එහෙම තමයි බං මනමාලයා උනාම. " අනේ මන්දා... මූඩියක් දැක්කත් දැං හිත ඉල්ලනවා බං... කොහෙද පාන්දර ඉදං මේ ඉලව්වට නැහෙනවා.... " රොමේෂ් අපි ලඟට වෙලා අඬන්නේ හරි පොඩි එකෙක් අම්ම ලඟට වෙලා අඬනවා වගේ " ඒක නෙවෙයි මල්ලි... උඹට ඕනෙ හැම දෙයක්ම බෑග් එකට දාගත්තා නේද? නුවර එළියනේ ගමන" ශෙහාන් වැඩේ කන්න හදන නිසා අනිත් ඔක්කොම ඌව කන්න වගේ බලාගෙන හිට්යා. " ආයෙ අහලා... අපේ අම්මා තමයි පැක් කලේ..." අනේ පව් දැං ඉතිං නැති වෙලා තියන හැම දේටම වැරදි කාරයා වෙන්නේ රොමේෂ්ගෙ අහිංසක අම්මා.... " එහෙනම් මචං උඹ හෙට පාන්දරම උඹලෑ අම්මට කෝල් එකක් දීලා සෑහෙන්න අම්මාව මතක් කරයි නේ" නදීගේ කතාවට රොමේෂ්ගේ මූන අර නරක කතාවක් කියද්දි එනවා වගේ හැදීගෙන ආවා. " ඇයි බං.... දන්නෙනැති නිසා අහන්නේ.. උදේට එච්චරටම අමාරුද?" නදීට කට උත්තර නැති උනා. බයිට් කලේ කාවවත්, බයිට් උනේ කවුරුවත්.
ඔන්න ඔක්කොමලාගෙන්ම ආශිර්වාදය මැද ඒ දෙන්නා හනි මූන් එකට නුවර එළිය බලා පිටත් උනා. අපිත් කාපු බීපු තැන් වල ලගින්නේ නැතුව ගෙදර ආවා. එන අතරතුර රොමේෂ්ගෙන් කෝල් එකක්. " ඈ යකෝ මගෙ හොඳ වෙලාවට මම බෑග් එක ඇරියේ... තොපි මගේ බෑග් එක ගෙනල්ලා දීපල්ලා හොඳ හිතිං. " අරෙහෙ ඉඳං කෑ ගහනවා. අපි ඔක්කොටම හිනා. ඉතිං අර අහන්න බැරි තරම් හරුපත් ඒ අස්සේ පිට වෙනවා. තරහට නෙවෙයි ජොලියට. කොහොමහරි. හවසම නදියි, චමතුයි රොමේෂ්ගේ ඇදුම් බෑග් එක ගිහින් දෙන්න ගියා. ඇත්තම කියනවා නම් එතන නැති වෙලා තිබ්බේ යට ඇඳුම් නෙවෙයි. ඒකෙ පිරිලා තිබිලා තියෙන්නේ යට ඇදුම් වලින් විතරයි.

ජීවිතේ හැටි

අරෝලගෙ වෙඩිං එක වැඩිහිටියෝ නැතත් අපේ සහභාගිත්වයෙන් හොඳට කෙරුණා. අරෝයි නදියි අපිට සමු දීලා අර මංගල දිවියට පිවිසුනා. ඒත් එහෙම උනාට උන් දෙන්නටම ජීවත් වෙන්න රස්සාවක් තිබ්බේ නෑ. නදී කැම්පස් එකේ තාම ඉගෙන ගන්නවා.උන් දෙන්නට එකට ඉන්නවත් තැනක් තිබ්බේ නෑ. ඒත් ඒවා ගැන උන්ටවත් අපිටවත් ගානක් තිබ්බේ නෑ. ඔක්කොම ඉවර උනාට පස්සේ චමත් උන් දෙන්නාගෙ අම්මලා තාත්තාලාට දන්නලා අම්බානකට අහ ගත්තා. ඊටත් වඩා චාටර් උනේ අරෝලගෙ ගෙදරින් නදීලාගෙ ගෙදර ගිහින් වංසෙ කබල් ගාලා ඒ කට්ටි දෙක වලි දාගෙන නදීටත් එයාලගෙ ගෙදර දොරවල් වැහුණු එක. දැං අපේ වචනෙන් කිව්වොත් උන් දෙන්නා හනි මූන් එකෙන් පස්සේ අනාථ නාථ වෙලා. අර නැව ගිලුණත් බෑන් චූන් වගේ ඒ ගැන උන් දෙන්නට ගානක් තිබ්බේ නෑ. අපිට ටිකක් උන් දෙන්න ගැන බයක් වගේ ආවා. මොකද නදී ඉගෙන ගන්න එක නවත්තලා දායි කියලා.මොනවා උනත් උන් දෙන්නගෙ අනාගතේ ප්ලෑන් කරන්න අපේ ගෙදරට රැස් වෙලා හිටියා. ඒත් හැමදාම වගේ ශෙහාන්ටයිම් රොමේෂ්ටයි හොඳටම වැඩි වෙලා තිබූනේ. කරටි කඩාගෙන කබරයා එක්ක තමයි හිටියේ. චමත් ඉතිං කියන්න පටන් ගත්තා.." නදීට රස්සාවක් නෑ.... ඉගෙන ගන්නත් ඕනෙ.. දැං පවුලක් ගෙනියන්නත් ඕනෙ.... අපිට උපරිම සප් එක දෙන්න වෙනවා" චමත් ඉතිං ඕක කිව්වේ සෑහෙන කාලෙකට පස්සේ ෆුල් සීරියස් " ඒක හරි.." රොමේෂ් කතා කලා " උඹ නදී බලාගනිං .. මම අරෝ බලාගන්නං" මටයි සෙනූටයි මාර ජොලි. " එහෙම කියන්න එපා රොමා.... අපි රොටේෂන් එකක් දාමු... මම දවසක් අරෝ බලාගන්නං උඹ එදාට නදී බලා ගනිං... අනිත් දවසේ මම නදී බලාගන්නං උඹ අරෝව බලා ගනිං." ශෙහාන් කියාගෙන කියාගෙන යනවා. " චමත් ටික වෙලාවක් හිටියේ තරහ ගිය හින්දා වෙන්න ඇති. මොකද වැඩක් පිලිවෙලකට කරන්න බෑ මුන් දෙන්නා කරටි කඩාගෙනනේ.... " මට තේරෙන්නේ නෑ උඹලා මොන බයිලා ගහනවද කියලා... යකෝ මුන් දෙන්නාව අපිට බලාගන්න වෙනවා..." චමත් ආයෙත් හැදුවේ මේ දෙන්නාව කතාවට සම්බන්ද කර ගන්න. " ඒක හරි වැරදි චමත්... බලපං අපි කොහොමද හිතකින් උඹට දෙන්නවම දීලා උඩ බලාගෙන ඉන්නේ" චමත්ට මල පැන්නා.... මම මුළු ජීවිත කාලෙටම ඒ චමත්ට මල පනිනවා දැක්කාමයි. චමත් රොමේෂ්ව කොලර් එකෙන් ඇඳලා ගත්තා... අපිත් එකතු වෙලා කොහොම හරි වැඩේ සමතයකට පත් කලා. රොමේෂ්ට ඒත් ගානක් නෑ ඌ කියවනවා. ගොඩාක් අමාරුවෙන් අපි රොමේෂ්ගෙ දත් ටික බේර ගත්තේ.... මට ලොකු බයක් ඇති උනා එදා... අනේ අපේ යාලූ කමට නරකක් වෙයිද කියලා. ඒත් පස්සෙයි දැන ගත්තේ මේ මෙහෙම උන පලවෙනි වතාව නෙවෙයි කියලා. අර මාලූවා නහින්නේ කට හින්දා වගේ රොමේෂ්ගෙ දත් කවදා හරි නැති වෙන්නෙත් නොන්ස්ටොප් කතාව නිසා. නදීගෙ ඉගනීම ඉවර වෙනකම් එයාලගේ වගකීම් වියදම් හැම දෙයක්ම අපි එකතු වෙලා කරන්න තීරණය කලා. නදීයත් නිකන් හිටියේ නෑ. එයා කැම්පස් යන ගමන් ඒලෙවල් කරන නංගිලා මල්ලිලාට ක්ලාස් කරන්න ගත්තා.. ජීවත් වෙන්න. ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි. ඒ තරම් ඒක හිතට දැනුනේ නදීයි, අරෝයි ජීවත් වෙන්න වින්ද දුක දැකලා.

රොමේෂ්ගේ වෙඩිං එක ගැන මම පස්සේ ලියන්නම්

මංගල තෑග්ග

ප්ලෑන් එකේ හැටියට අමාරුම වැඩේ පැවරිල තිබ්බේ මට. අපේ අම්මා නම් අපිට දුන්නේ මාර සපෝට් එකක්. කොහොම හරි මට අරෝව ගෙදරින් පන්න ගන්න ඕනෙ උනා.... ඒත් කිසිම විදියකින් අරෝට අරෝලාගෙ ගෙදරින් එළියට බහින්න විදියක් තිබ්බේ නෑ. අනේ මම හැමවෙලේම කල්පනා කලේ හොඳ හේතුවක් අරෝව ගෙදරින් අරං එන්න. මට අරෝගෙ අම්මාගෙ විශ්වාසෙ කඩා ගන්න නම් තිබ්බේ දුකක්, එයා මටත් අම්මා කෙනෙක් වගේ ඒත් මගේ හොඳම යාලුවාගෙ ඇස් වල කඳුලු සදහටම නැති කරලා දාන්න මට ඒ කැප කිරීම කරන්න උනා. අපේ ගෙදර හැම අවුරුද්දකම දෙන දානෙත් ලඟ ලඟම එන නිසා මම අන්තිම තුරුම්පුව විදියට දානෙ ගැන කියලා අරෝව ගෙදරින් එළියට ගත්තා. අරෝගෙ වාසනවට එයා මුරකාවල් නැතුව ගෙදරින් එළියට අඩිය තිබ්බා. මේ වනකොට අපේ ගැන්සියම දැනගෙන හිටියා අරෝ පෙබරවාරි 17 වෙනිදා නිදහස් වන බව ඒ නිසා ලහි ලහියේ හැම දේම සූදානම් කලා. මරුම වැඩේ කියන්නේ මම තමයි අරෝගෙ හැට්ටේ මිම්ම හිටන් මැනගෙන ගියේ. අපි ඔක්කොමලගේම වියදමින් වැඩේ ලස්සනට කරගෙන ගියා. පෙබරවාරි 17 ආවා. අරෝව මම අරං එන්න එයාලාගේ ගෙදර ගියා. ඒත් හිතට එකඟව එයාලගෙ අම්මාගේ මුණ බලන්න මට බැරි උනා. අර හොර වැඩක් කරද්දී දැනෙන බය මටත් ඇවිල්ලා. අරෝ තව එක ඇඳුමකුත් බෑග් එකේ දාගෙන අම්මේ මම ගිහිං එන්නම් කියලා වැන්දා. මට ඒ වෙලාවෙ නම් පපුව පලාගෙන යන්න එනවා වගේ දැනුනා. ඒත් ඉවසන දනා රුපුනුදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. මම ඉවසීමයි කඳුළු ටැප් එකයි ඛ්‍රේක් ගහගෙන හිටියා. හදිස්සියේ හරි මගේ ටැප් එක ඇරියානම් ඔක්කොම මාට්ටු. අරෝ හිත යටින් සතුටු උණත් තමන්ගේ අයව දාල යද්දී දැනෙන දුකෙන් මිරිකිලා හිටියේ. මට මෙහෙම නම් එයාට කොහොම දැනෙනවා ඇද්ද?. අපි දෙන්නා බස් එකේ යන්න පිටත් වෙන බව ඇඟෙව්වට චමත් මඟට අවිල්ලා හිටියා. අරෝ චමත් එක්ක ඉන්න නදීව දැකල මූනේ මල් පුරෝ ගත්තා. දැං නම් මල් වත්තක් වගේ මූණ. ආදරේ කියන්නේ මොන තරං ලස්සන දෙයක්ද කියලා හිතෙනවා මැලවුණු මූනක් අයේ පිපිලා තියනව දැක්කාම. අපි හතර දෙනාම ගියේ අපේ ගෙදර. අරෝව ලස්සනට අන්ඳගෙන අපි පිටත් උනේ රෙජිස්ටාර් ගාවට. අපේ ඔක්කොමලා හිටියා ඒත් අපි කාගෙවත් වැඩිහිටියෝ එතන හිටියේ නෑ. වාක්‍ය පිට වාක්‍ය කියලා ඒ දෙන්න අර තඩි පොතේ අත්සන් කලා. ඒ දෙන්න නීතියෙන් එකතු උනා. ඒත් හවස අපි උන් දෙන්නාව පෝරුවක නග්ගලා බන්දන්න වැඩ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. ඒ අතර සෙනු අඬන්න පටන් ගත්තා... මොකටද දන්නවාද? නදී ඇත්තටම කසාද බැන්දා කියලා. පව් තමයි ඒත් ඒකිගේ තියන ගොන් කමට අපි මොනා කරන්නද.

අරෝලාගෙ වෙඩින් එකේදි වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්

ප්‍රේම තරඟේ...

සාමකාමි බව අස්සෙන් අපේ ආදරේ දිගටම අරගෙන යන්න ගත්තා. අපේ ගෙදරින් අපි දෙන්නාගෙ සම්බන්දෙට ආශිර්වාද කලා. චමත් උනත් අපේ ගෙදර ආවෙ ගියේ තමන්ගේ ගෙදර එනවා වගේ. අපි දෙන්නාට කිසිම බාදකයක් තිබ්බේ නෑ, එළම තමයි. අම්මා උනත් පුතෙක් නැති අපේ ගෙදර එයාව පුතෙක් කර ගත්තා. මටත් වඩා චමත් ආදරේ උනේ අපේ අම්මාට. හැම වෙලේම කිව්වේ ජූරිය ශේප් එකේ තියා ගත්තොත් නඩුව දිනිම් කියලා. ඒක ඇත්ත අම්මාව ෆිට් එකේ තියාගන්නකන් බඩුම තමයි. තාත්තා උනත් ජොලියට බරයිනෙ. ඒ නිසා කිසිම අවුලක් තිබ්බේ නෑ. ඒත් මේ හැම දේකම අනිත් පැත්ත සිද්ද උනේ අරෝට. අනේ දෙයියනේ එයානම් වින්ඳේ පුදුමාකර දුකක්. ඒ ඔක්කොම උනේ අම්මට තාත්තාට හොරෙන් නදීව හමබ වෙන්න ගිහින්. අරෝ මම වගේ නෙවෙයි. ලොකුම ලොකු සල්ලි කාරයෙක්ගෙ එකම දුව, ඒ විතරක් නෙවෙයි. එයා ගැන අම්මාලා තාත්තාලා බැලුවේ බිස්නස් ඇහින් විතරයි. තවත් ලොකු බිස්නස් කාරයෙකුට බන්දලා දෙන්න එයාලාට ඕනෙ උනා. හැම අම්මාකෙනෙක් ම ප්‍රාර්ථනා කරන තමන්ගෙ දරුවගේ සතුට තියෙන්නේ සල්ලි වල විතරයි කියලයි එයාල හිතුවේ. ඒත් අරෝගෙ සතුට තිබුණේ නදී ලඟ. ඒක අරෝගෙ අම්මාලා හිතුවෙත් නෑ. හිතන්න ඕනෙ උනේත් නෑ. සෑහෙන්න මුරකාවල් එක්ක අරෝ සෑහෙන කාලයක් නිවාස අඩස්සියේ හිටියා. එයාව බලන්න යන්න පුලුවන් එකම කෙනා උනේ මම විතරයි. ඒත් ඇන්ටි මාව අරෝ ලඟට යැව්වේත් දාහක් ප්‍රශ්න අහලා. මම එයාව බලන්න යන හැම වෙලාවකම නදීගෙ ලියුමක් නම් අරං ගියා. ඒත් අරෝට ලියුමකින් විතරක් සතුටක් ගෙනාවේ නෑ. ඉතිං මට පුලූවංනම් නදීව මගේ බෑග් එකේ දාගෙන එන්න ඒකත් මම කරනවා. මට අරෝ අඬනවා බලං ඉන්න බෑ. එයා හැමදේකින්ම කල කිරිලා. හැමදේම එපා වෙලා. හම්බ වෙන්න තියා කතාකරන්නවත් බැරි තරම් නීති දාලා ගෙදරින්. අරෝ කෝල් එකක් ගත්තත් අනිත් ලයින් එකෙන් අම්මා අහන් ඉන්නවා. පව්.... ආදරේ කියන්නේ වේදනාවක්. දෙයියන්ගේ පිහිටෙන් මට ඒ වේදනාව දැනුනේ නෑ. ඒත් අරෝගෙ වේදනාව මට දැනෙන්න ගත්තා. ඒ අතරතුර චමත් වගේම නදී කැම්පස් යන්න පටන් ගත්තා. නදී හිටියෙත් සතුටින් නෙවෙයි. චමත් කියනවා කන්න බොන්න හිටන් නදී අමතක කරලා දාලාලු හිටියේ. ඒ අතරතුර අරෝට ලොකුම ලොකු බිස්නස් පවුලකින් යෝජනාවක් ආවා. අම්මාලා හොරෙන්ම තීන්දු කරලා. අන්තිමට තමයි අරෝ දැන ගත්තේ. එතකොට එයාට අකමැති වෙන්න බැරි තත්වෙට පත් වෙලා. ඒක දැනගත්තාම නදී පිස්සු නටන්න ගත්තා. බොන්නත් පටන් ගත්තා. අපිටත් මොනා හරි කරන්න සිද්ධ උනා. අපේ යාලුවෝ වෙනුවෙන්. එතකොට චමතුයි නදීයි හිටියේ කැම්පස් එකේ දෙවන වසරේ. අපි එදා යාලූවෝ ඔක්කොම එකට එකතු උනා. ප්ලෑන් එකක් ගහන්න. නදීවත් අඬගහගෙන, චමත්, රොමේෂ්, ශෙහාන්, සුමා, සෙනූ අපි ඔක්කොමලා දැඩි තීරණයකට ආවා. එකතු වෙලා අපි අරෝවයි, නදීවයි සදාකාලයටම එකතු කරන්න අන්තිම තීරණය ගත්තා. වැඩිකල් නොගොස් අපි මේ හැම දෙයක්ම හොඳින් කර ගන්න සෙට් උනා. සමගිය බලය වෙයි කිව්වාලු. ඒත් අමාරුම වැඩේ පැවරිලා තිබ්බේ මට... ඇන ගන්නේ නැතුව ගානට දුන්නේ නැත්නම් ජීවිත දෙකකට වගකියන්න වෙන්නේ මට බව දැනගෙන මම ගේමට බැස්සා. මිෂන් ඉම්පොසිබල් වගේ....

ප්ලෑන් එක ගැන මම පස්සේ ලියන්නම්

කලටි පොල්....

නොදැක විඳින්න වෙන දුක තරම් දුකක් මම මීට කලින් විඳලා නෑ. ඒත් අපි මැනේජ්මන්ට් ඉගෙන ගත්තත් නැතත් අපි අපිව දකින්න වග බලා ගත්තා. ඒක එක පාරටම ඛ්‍රේක් ගැහුවා වගේ නැවතුනේ අපේ කෝස් එක මාස තුනෙන් ඉවර උනාට පස්සේ. අනේ අම්මෝ මේ මොනා වෙන්න එනවද කියල මට හිතා ගන්න බෑ.කොහොමහරි චමත් එන්න එන්නම මට නොදැක ඉන්න බැරි තත්වයට පත් උනා. එයාටත් එහෙමයිලු. මම දන්නේ නෑ අරෝයි කිව්වේ. මම අපේ අම්මට යන්තං එහෙං මෙහෙං හැම දෙයක්ම කියල තිබ්බා. දවසක් හදිස්සියේ අපේ ගෙදර බෙල් එක වැදුනා. මම ලාවට වගේ ජනෙල් රෙද්ද එහාට මෙහාට කරලා බැලුවා කවුද කියලා. හීනෙකින්වත් නොහිතපු විදියට චමත් ගේට්ටුව ලඟ. " මොකද ඔතනට වෙලා හැංගිමුත්තම් කරන්නේ. බලන්නකෝ කවුද ආවේ කියලා" අම්මා කියද්දී මාව උඩ ගියා තව්තිසාව පේන මානයට. " අම්මේ චමත්" මට එච්චරයි කියන්න පුලූවං උනේ. අම්මට බකස් ගාල හිනා ගියේ මගෙ මූන පුරා තිබ්බ දාඩිය දැකලා වෙන්න ඇති. අනේ අම්මපා මට කට නම් තියනව වක්කඩ වගේ ඒත් පොඩ්ඩ ඇත්නම් දාඩිය දානව බයට. " එහෙනම් යනවා මෙතනින් මම බලා ගන්නම් මොකටද මෙහෙ ආවේ කියලා" අම්ම හිනාව හංගන් කිව්වාට මට තේරුනා. මම අපේ අම්මාව දන්නවනෙ ඒ නිසා පොඩ්ඩක් එහාට ගිහින් ඇහෙන පේන තෙක් මානෙට වෙලා සිද්දිය බලාගෙන හිටියා. මොනා උනත් දැං මට දැක ගන්න පුලුවන්නේ.... අම්මා දොර ඇරියා. චමත් ඇතුලට ආවා. කිරි අප්පට අහල පහල ඔක්කොම බල්ලො බිරුවා වගේ මෙන්න චමත්ටත් දාඩිය දාලා. මට එතකොට නම් ජොලි. මම දන්නව මම නම් මහා නපුරුයි කියලා. " ඇයි?" අපේ අම්මා නම් ඇත්තටම රඟපාන්න යවන්න තිබ්බේ. තාත්විකව කරන්න ඕනෙ සීන් එක කරනවා. " ඇන්ටි මම මේ... මේ.... " මගේ නම අමතක වෙලා වගේ ඇදෙනවා. " ඇයි කවුද?" අපේ අම්මා නම් මාරයි. මූනෙ හිනා කඳුලක් නෑ. " දුලා ඉන්නවාද???? " අම්මා මම ආව පැත්ත බැලුවා. එයටවත් මාව පෙන්නෙ නෑ ඒ තරම් මම හැංගිලා " එයා මොකටද? මොකද්ද උවමනාව" මම දැක්කා එයා ටිකක් ලොකු හුස්මක් අරං පහලට දානවා " මම මේ එයාගේ පොලිටිකල් පොත ඉල්ලගන්න ආවේ. " කෑවනේ රස්සාව මම පොලිටිකල් කලාද? මූ ඒක වත් දන්නේ නෑනෙ. " මම දන්න තරමින් නම් එයා පොලිටිකල් කලේ නෑ" අම්ම නිකන් ඩෝන්ට් කෙයාර් එකේ කිව්වා. මට පණ යන්න හිනා. " ආ.. ඔව්මයි පොලිටිකල් කලේ අරෝනේ" ඔන්න තව පාරක් ඇන ගත්තා. අරෝ පොලිටිකල් කලෙත් නෑ. ඒකත් අම්මා දන්නවා. " එයාත් පොලිටිකල් කලේ නෑනෙ. " චමත්ට කෙල ගිලෙන්නෙත් නෑ. "එහෙනම් වෙන කෙනෙක් වෙන්න ඇති. කමක් නෑ.... සිංහල පොත ඉල්ල ගන්නත් ඕනෙ" ඔන්න ඔහොම දන්න දේ කිව්වනම් ඉවරනේ. අම්මා හිනාව තද කරගෙන මම හිටිය පැත්තට ආවා. " අන්න සිංහල පොත ගිහින් දෙනවා. පොතත් එක්ක අර කූල් ඩ්‍රින් එකක් හදාගෙන යනවා, පව් උගුර කටත් වේලිලා මගෙ ප්‍රශ්න වලට උත්තර දීලා" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියා. මම සිංහල පොත අරං ලඟට යනකං ඉන්න බැරුවා හිනා ගියා. චමත් මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඇහුවා " ඒ ඔයාලගෙ අම්මා නෙවෙයිද?" කියලා. මම කිව්වා "අම්මා තමයි ඒත් අද එයා ඔයාව හිතේ හැටියට බයිට් කලා" කියලා. මම හිතුවේ තරහ යයි කියලා ඒත් එහෙම උනේ නෑ.

සාමකාමී බව අස්සේ සිද්ධ වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්

ජීවිතේට කාටවත්ම නෑ මා.....


ප්‍රශ්නෙට උත්තරේ තිබුණේ මගෙ හිතේ. ඒකත් මහ පුදුම දෙයක්. කොහොමහරි ඔය අතරේ අරොයි මමයි තීරණය කලා මැනේජ්මන්ට් ඉගෙන ගන්න. එතකොට අපි දැනගෙන හිටියේ නෑ අපි විශ්ව විද්‍යලයට තේරිලා කියලා. මාර සීන් එක කියන්නේ අපි මැනේජ්මන්ට් යනවා කිව්වාම සුමා විතරක් නෙවෙයි නදීශත් එන්න තීරණය කලා. කොහොම හරි අපි යන අලුත් පන්තියේ පලවෙනි දවසේ මට ඇති උනේ මාර සතුටක් ඇයි කියන්න දන්නේ නෑ. චම්තුත් නදීශ එක්ක පන්තියට එන්න අරං. හිතට මොකද්දෝ ෆිට් එකක් ආවා කවදාවත් නැතුව." උඹට බඩ්ඩක් කියන්නද?" ඔන්න ආයෙමත් ලොකු රහසක් කියන්න වගේ අරෝ මගෙ කනට ලං උනා. " ඉතිං කියපං" නදීශලා ඇයි දන්නවද මැනේජ්මන්ට් කරන්නේ" මම හිනා වෙලා අරෝ දිහා බැලුවා. මම බබාද ඒක දන්නේ නැති, මොකද මේ දවස් වල නදී අරෝ අපායට ගියත් එනවා. " මොකද මම දන්නේ නැත්තේ?, මේ දවස් වල නදී නොයන්න උඹත් එක්ක ටොයිලට් විතරනේ" මම ඇඟට නොදැනී කිව්වා. මම කිව්වේ බොරු නෙවෙයි. " නෑ මෝඩියේ මේ සැරේ මම නිසා නෙවෙයි උන් ක්ලාස් එන්නේ" මට හිනා ගියා. " එහෙනම් ඉගෙන ගන්නද?" ඒක නම් කොහොමත් වෙන්න බෑ. " ඔය බලපංකෝ උඹටනම් මොලේ කලඳක් නෑ" පහුගිය දවසක උඹට චමත් හම්බ උනාද හංදියේදි" මම හොල්මන් උනා. ෂුවර් එකටම ඕක චමත් නදීශට කියලා නදීශ මෙයාට කියන්න ඇති. " ඔව්නේ... මට උඹට කියන්න අමතක උනා" අරෝ මා දිහා බලල හිනා උනේ නම් කිණ්ඩියට " උඹට අමතක උනාද? අමතක වෙලා වගෙ අමතක කලාද?" මේ මොකද්ද දැං මේකි කියන හරුපේ " හරි දැං ඒකෙයි මේකෙයි මොකද්ද තියන සම්බන්දේ?" අරෝ පොතක් අස්සෙන් කාඩ් එකක් දාපු කවරයක් අරං මට දුන්නා "මෙන්න මේක තමයි ඒකයි මේකයි අතර තියන සම්බන්දේ, මේක චමත් උඹට දෙන්න කිව්වා" මට නිකං සන්නිය හැදීගෙන එනව වගේ දැනුනා. අතපය ඇඟ ඇතුලෙන් වෙව්ලනවා. කාඩ් එක අතට අරගත්තා.මට යන්තමට පේනවා ඒ පැත්තේ සෙට් එකම මා දිහා බලගෙන ඉන්නවා වගේ. මට බලන්නත් ලැජ්ජයි. මම කාඩ් එක පොතක් අස්සේ දාගත්තා. " ඕක දැං බලපං..." මම තවත් පිස්සු උනා. "දැං....???" අරෝ මම ඒක දැම්ම පොත අස්සෙන් අරං මගේ අතේම තිබ්බා. පපුව පිටි මෝල ස්ටාට් කරලා වගේ. වස නෝන්ඩියයි අත පය ගැහෙනවා හැට පැනලා වගේ. කාඩ් එක ඇරියා. ඒකෙ මුලම තිබුනේ ටෙඩි බෙයාර් කෙනෙක් I Love You කියලා අල්ලන් ඉන්නවා.ඇතුල බලන්න මම ඒක ඇරියා. පුන්චි කවියක් ඒකෙ තිබ්බා
' පැනයක් ඇත මගෙ හද තුල කැකැරෙන
නොදැනෙයි අසන්නට ක්‍රමයක් බලගෙන
නුඹගැන සිතක් ඇත මා හද පුරාගෙන
තරහ නැතිව බහ දීපං කල් නොගෙන

මේ ප්‍රශ්නේට උත්තරේ 'හා' නම් මේ පැත්ත බලන්න. 'බෑ' නම් කාඩ් එක අරෝට දෙන්න. මට ගොඩාක් දුක හිතෙයි ඒත් තරහ නෑ' ඔන්න ඔහොම ලියලා තිබ්බා. මගේ පපුව ඉලෙක්ට්‍රික් මෙෂිමක් වගේ ඒත් මම හිතන්නත් කලිං මගේ ඇස් දෙක චමත් දිහාවට හැරුනා. එදා එයාගේ කටට ආව සංතෝසෙ නම් කියාගන්න මටත් බෑ. අනේ මන්දා මට නම් තේරුමක් නෑ කිසිම හිතිල්ලක් නැතුව මම ඇයි චමත් දිහා බැලුවේ කියලා ඒත් දැං මට හිතන්න කල් ඉල්ලන්න බෑ. මම උත්තරේ දීලා ඉවරයි.


නොදැක විදපු දුක ගැන මම පස්සේ ලියන්නම්



බඩුම තමයි

අවසාන ප්‍රතිපලය ගැන මම නම් ගොඩාක් සතුටු උනා. අරෝවයි නදීවයි දෙයියනේ කියල එකතු කලාම මටයි චමත්ටයි කටු කෑම නවත්තන්න වරම් ලැබුණා. කටු කෑවා කියන්නේ අපි කට්ට කෑවෙ සූප්පු කර කරනේ. දැං අපි උන් වෙනුවෙන් කටු කන්නේ නෑ. ඒත් මහ මොකද්දෝ අමුත්තක් හිතට ආවා. වෙන් වෙලා ඉන්නකොට කතා නොකර ඉන්නකොට. නිදා ගන්න බෑ, කන්න බොන්න බෑ. කරන කිසි වැඩක් කර ගන්න බෑ. අනුන්ගෙ ටින්කිරි ටින් කරන්න ගිහින් මට මේ සිද්ධ උන කිරි ටොපිය ගැන මට හිතා ගන්න බැරි උනා. කොටින්ම කියනවා නම් ශාරුක් අයියාවත් එපා උනානෙ. මරු සීන් එක කියන්නේ කාමරේ පුරා ගහගෙන තිබ්බ ශාරුක් අයියාගෙ ෆොටෝ ගලවලා රෝල් කරල මම අරං තිබ්බා. අපේ අම්මානම් හිතන්න ඇති මම දැනුම් තේරුම් වේගෙන එනවා කියලා. එක දවසක් අපේ ගෙදර අරෝ ආව වෙලාවේ මගේ කාමරේ දිහා බලල පුදුම උනා. " කෝ බං පින්තූර...?" මම රෝල් කරලා අල්මාරිය අස්සෙ ගහපු ටික පෙන්නුවා. " මට දැං මේවා ගහන් හිටියා ඇති කියලා හිතුනා බං". අරෝ හිනා උනා " උඹ දන්නවාද මමත් නදී හම්බ උනාට පස්සෙ මගෙ කාමරේ හිටපු අර බැක් ස්ට්‍රීට් බෝයිස්ලාගෙ පෝස්ටර් එක ගැලෙව්වා. ඇත්තමයි දැං මට නදීගෙ ෆොටො එකක් ඉල්ල ගන්න හිතෙනවා බං එල්ල ගන්න." "ඉල්ල ගනිං... පස්සෙ එල්ලගෙන එල්ලියන් කඹයක් දාල ෆෑන් එකේ අම්මලා දැක්කාම. " අපි දෙන්නම එදා හිනා උනා. ඒත් මට ප්‍රශ්නයක් මට ශාරුක් අයියා එපා උනේ ඇයි???? කොහොමහරි ඔය ප්‍රශ්නේ ඔහොමම මගේ හිතේ දවසෙන් දවස ප්‍රශ්න කරද්දි එක දවසක් අහම්බෙන් මට ටවුමෙදි චමත්ව හම්බ උනා. " මොකෝ මේ තනියම.... කෝ අරෝ?" මම අතේ තිබ්බ බඩු ටික අනිත් අතට මාරු කරන ගමන් හිනා උනා " මමත් ඒ ප්‍රශ්නෙම අහුවොත්... කෝ නදී කියලා" චමත්ටත් හිනා. " ඒකත් ඇත්ත.... ඌත් නෑනෙ.... දැං උන් අල්ල ගන්න හරි අමාරුයි. කෝ දෙන්න ඔය බෑග් එක මම අරං යන්නම්" එදා මගේ අතේ තිබ්බ බෑග් එක චමත් ගත්තේ බලෙන්ම. අනේ මන්දා මමත් ඉතිං දුනනානෙ. දැං ඉතිං අපි දෙන්නා ඉස්සරහට යනවා කතාවකුත් දාගෙන. ආගිය විස්තර, අරවා මේවා කතා කර කර. පස්සේ බස් හෝල්ට් එකට ආවට පස්සේ චමත් මගෙන ඇහුවා..." ආයේ කවදද හන්දි එන්නේ" කියලා. අනේ මන්දා අර හඳුන්පොතද මොකද්ද එක නැවතිලා ආයෙ පටන් ගත්තා. මට මේකාව දාල යන්න දුක හිතුනානෙ. " මම.... මම.... " මම ඉතින් එක වචනෙ කියවනවා. වෙන වචන දන්නේ නෑ වගේ. " ආයෙ හන්දි එනකොට මට කෝල් එකක් දෙන්න..." මම එක පාරටම චමත් දිහා බැලුවා. ඇත්තමයි මට ආයෙ හෙට හන්දි එන්න හිතුනා. " ඒ මොකටද?" ඔය ඉතිං මම හිතන දේ නෙවෙයි කියන්නෙ, ඕනෙ දේ නෙවෙයි අහන්නේ. " නෑ බඩු ටික උස්සලා දෙන්න" චමත් හිනාවෙලා එතනින් ගියා. අම්මපා මගේ කට නම්.... ඒත් එයා මම ගැන හිතනවා කියල හිතන කොටත් හිතට අමුතු මෙව්වා එකක් එනවා. අනේ ඒත් අපි හොඳ යාලුවොනෙ, එයා මගේ යාලුවෙක්, අන්න එහෙම හිතනකොට මුළු මූණම මැලවිලා යනවා. මාර සීන් එක තමයි. වැඩේ කියන්නේ මම මේ ගැන වචනයක්වත් කාටවත් කිව්වේ නෑ. හැමදේම ගිරවෙක් වගේ අම්මත් එක්ක කියන මම මේක කියන්නේ නැතුව හිතේ හංගන් හිටියානෙ. ඒත් ඇයි? මට ඒක ලොකු ප්‍රශ්නයක් උනා.

ප්‍රශ්නෙට උත්තරේ ගැන මම පස්සෙ ලියන්නම්

පාගලා හේ...

කැමැත්තට පෙර අකැමැතියි කියලා පෙන්නන එක ගෑනු අපේ හැටියක්. ඒකෙන් ලබන සතුට මහා ආත්මාර්ථකාමී එකක්. ඒත් ඒක කාවදාවත් අපිට තේරුනේ නෑ. නදීශ අරෝගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් කොච්චර නම් කටු කන්න ඇතිද? ඒත් ඇත්තම කියනවා නම් මම එයාගේ නොපසුබටින වීර්යය ගැන සෑහෙන්න සතුටු උනා." ජීවිතේ තරුණ කාලේ ..... එක සේ නොරැඳේ....." ඔන්න ඔහොම සිංදුවකුත් තියනවානේ. ඒ දෙන්නා නිසා කටු වල බාගෙට බාගයක් කන්න සිද්ධ උනේ මටයි, චමත්ටයි. ඒත් අර මස් කට්ට අන්තිමට සූප්පු කලේ නැත්තම් ගතියක් නෑ වගේ අපිටත් ඒක ගැන කරදරයක් තිබ්බේ නෑ. ඔය උදව් කෙරුවාව නිසා මමයි චමතුයි මාර විදියට ෆිට් උනා. ඉතිං බලන්නකෝ ඒකෙත් හැටි. ඔය අස්සේ අපේ ඒ ලෙවල් වල රිසල්ට්ස් ඇවිල්ලා තිබුණා. සතුටුයි කියන්නේ අම්බානකට අපි ඔක්කොම ආයෙ එලටම පාස්. රිසල්ට්ස් ආව දවසේ අපි පාටියක් දාන්න තීරණය කර ගත්තා. වැඩේ තියෙන්නේ අරෝ නදියට පැලෙන්න කැමතියි. ඒත් පෙන්නන්නෙ නෑනෙ. වෙලාවකට දෙන්න හිතෙනවා .... යාළුවා නිසා ඉවසනවා. ඉතිං පාටිය අපි අපිට හුරු පුරුදු තැනකම දාන්න කතා කර ගත්තා. ඔන්න ඉතිං අද නම් ඉන්නේ මම විතරක් නෙවෙයි. අරෝ, සුමා, සෙනූ, නදීශ, චමත්, රොමෙශ්, ශෙහාන්.. ගැන්සියම. සල්ලි එකතු කරලා අපි අල තෝසෙ ගෙන්න ගත්තා. හොඳටම බඩගිනි නිසා අපි ඉතිං කතාවක් නැතුවම කන්න පටන් ගත්තා. රොමේශ් ඉතිං ගොඩාක් කියවන්න දක්ෂයි, අනිත් උන් අහන් හිටියේ නැත්තත් කියවනවා. අර කකා ඉන්නකොට කියවද්දි තමයි මල පනින්නේ. වැඩේ තියෙන්නෙ මූ කියවද්දි අපි උගෙ කට දිහා බලන් ඉන්නත් ඕනෙ. සුමා එක පාරක් කිව්වා" මේ රොමේශ් කටවහගෙන කාපංකෝ බං කියලා" අහන පාටක් නෑ. මොනවදෝ රගර් මැච් එකක් ගැන තොරතෝංචියක් නැතුව කියවනවා. ඇත්තමයි මූ හොඳයි තොරණකට යවන්න. අපි අමාරුවෙන් අහගෙන කනවා..... ඒ අස්සේ අරෝ මට ලං වෙලා අහනවා " උඹ දැක්කද? නදීශ කන්නේ නෑ බං" මම නදීශ දිහා හොරෙන් බලල අහක බලා ගත්තා. ෆුල් ෆන් දන්නේ නැද්ද අපට, එහෙම සීන් එකක් යනවකොට, මටත් ඉතිං නිකං මෙව්වා වගේ.... මම නදීශ අරෝ දිහා හොරෙන් බලන හැම වෙලාවකම අරෝගෙ කකුල පෑගුවා. මේකිට හැඟීම් දැනීම් නෑ වගේ අනිත් එවුන් කියන ඒවට හිනා වෙවි ඉන්නවා. මම එක පාරක් බැරිම තැන අරොගෙ කකුල පාගලා ඇඹරුවා. ඒත් නෑනෙ මේකිට ගානක්වත්. බැරිම තැන මම ඇන්නා අරෝට " මේ උඹට ලදුරුද?" අරෝ මගෙ දිහා බැලුවේ ' මට මොකා' කියනවා වගේ.... " ඇයි බං මම කීසැරයක් පෑගුවද උඹෙ කකුල උඹට හැඟීම් දැනීම් නැද්ද?" අරෝ හොල්මන් උනා. " උඹ මගේ කකුල පෑගුවා....?" ඒකි කියන්නේ ඇත්ත මම පාගපු පෑගිල්ල මේකිට දැනුන නම් මෙතන දෙවනත් කරලා... මම ශේප් එකේ මේසෙ යට බැලුවා. හත් වලාමයි මම මේ දිව හපාගෙන පාගලා තියෙන්නේ නදීශගෙම කකුලනේ. කිණ්ඩි කියන්නේ අම්බානකට. මූණ බලන්නෙත් කොහොමද? අනේ අම්මපා මේ වෙලාවට හිතෙනවා අනේ මටත් සෙනූ වගේ ඉන්න තිබුණ නම් කියලා. ඒත් පව් කියලත් හිතෙනවා. නදීශගෙ කකුල තුවාල වෙලා ඇති. මේ ඇටි හරකත් කකුල එතනම තියා ගෙන හිටියානෙ..... මම වරදියි. මීට පස්සේ අනුන්ගෙ කඩ වල සීනි කිරන්න යන්නේ නෑ. ඒත් මම පාගලා තියෙන්නෙ ඒ කඩේ මුදලාලිගෙම කකුලනෙ. හොඳ වෙලාවට මේක නදීශගෙ කකුල උනේ හදිස්සියේ හරි චමත්ගෙ කකුල උනානම් වහකාලා.. බෙල්ලෙ වැල දගෙන කකුලෙ ගලක් බැඳගෙන මූදෙ පනින්න වෙන්නේ. අයියෝ ඉතිං මටමමයි වෙන්නේ.....

අවසාන ප්‍රතිචාරය ගැන මම පස්සේ ලියන්නම්


ආදරේ සුන්දරද මෙතරම්

ඒ ලෙවල් වලින් පස්සේ.. අපිට හිතුනේ අපරාදේ ඒ ලෙවල් කලේ කියලා. ඒත් දැං කරලා ඉවරයිනෙ. මම හිතන්නේ ඊට පස්සෙ තමයි අපි පොලොවෙ පය ගහන්න ඉගෙන ගන්නේ. ජීවිතේ වගකීම් ගොඩක් කියලා තේරුම් ගන්නේ. ඒත් ඒ ලෙවල් වලින් පස්සේ මුල් මාස් දෙක තුන නම් එච්චර දෙයක් තිබ්බේ නෑ හිතේ. අර එදා වගේ අදත් අපේ හිතේ තිබ්බ එකම ආසාව දඟලන්න. ඔය එක එක පන්ති වලටත් යන්න ගත්තා.... කොම්පුටර් කියයි, ස්පෝකන් ඉන්ග්ලිශ් කියයි, අරක කියයි මේක කියයි. ඒ අතරතුර අපි ජීවිතයේ ගොඩාක් ආදරේ කරපු චරිත එක්ක, පොත් පත් එක්කත් අපේ ජීවිත ගොඩ නගා ගන්න උත්සහ ගත්තා. වස්සාන සිහිනය කියවලා කසුන්ට ආදරේ නොකරපු කෙල්ලෙක් හොයා ගන්න ඉන්නවද? සුලඟ වගේ ඇවිදින් කියවලා අරුණි අක්කට ආදරේ නොකරපු කොල්ලෙක් ඉන්නවද? අපි අපේ හීන ලෝක වල ජීවත් උනා. ආදරේ කියන්නේ පොත් පත් වලින් ගෙනාපු මනඃකල්පිත හැගීම් ගොන්නක් කියලා අපි තේරුම් ගන්න උත්සහ කලේ නෑ. අන්න ඒකයි මම හිතන්නේ ඒ වයසෙ වැරැද්ද. ආදරේ අපේ හිත් වලටත් හොරාම එන්න ගත්තා. මාරයි කියන්නේ මට වගේම අරෝටත්. අපිට සිද්ධ උන ගොඩාක් දේවල් සිද්ධ උනේ එකම කාලේ. ඕකට වෙන්න ඇති කියන්නේ සංසාරික බැඳීම් කියලා. ඒත් හිත් වල ගොඩ නැඟුණු මොකද්ද මෙව්වා එක මුලින්ම කිව්වේ මම නෙවෙයි අරෝ...
" උඹට බඩ්ඩක් කියන්න තරහ වෙන්නේ නැද්ද?" දවසක් අපි දෙන්න ක්ලාස් එක ඇරිලා එද්දි අරෝ මගේ අතින් අල්ලගෙන කිව්වා. " මොකද්ද බං ඒ, උඹ කියන දේකට මට තරහ යන?" මම එදා පුදුම උනා. මට මල පනිනවා අඩුයි. ඒක මටත් වඩා අරෝ දැනගෙන හිටියා. හැබැයි එදා අරෝ නම් මාරම මාර සීරියස්. " නදීශ මට කාර්ඩ් එකක් එවලා තිබ්බා" මේකිට නදීශ එව්ව කාඩ් එක මොකද්ද? යකෝ මේකිටවත් නදීශටවත් කාඩ් එකක් තියන එකක්යැ හුවමාරු කර ගන්න. මට පැහැදිලි උනේ නෑ. " කාඩ් එකක් ඒ මොකටද බං" අරෝ රතු වෙලා මට ඒක තේරෙනවා. උපතින්ම එයා සුදු නිසා මූන රතු , නිල, දම් වෙනවා හොඳට පේනවා. " ඒක මටත් හිතා ගන්න බෑ..... I Miss You.... කියලා තමයි කාඩ් එකේ තියෙන්නේ. බලපං බං.. හොඳ වෙලාවට මම එදා ලියුම් ගත්තේ අම්මා එහෙම ගත්තානම් කඩලා බලනවා... එහෙම උනානං වහ කන්න වෙන්නේ" මේකි කියන එක ඇත්ත... ඒත් නදියා මෙහෙම කාඩ් එවන්න හේතුව මොකද්ද? මට නොතේරුණාම නෙවෙයි ඒත් අර මොකද්ද එකට මට අරෝගෙ කටින්ම ඒ වචනේ ගන්න උවමනාව තිබුණා. " කෝල් එකක් දීලා බැනපංකො පිස්සු වැඩ කරන්න එපා කියලා" අරෝ මගෙ දිහා බැලුවේ අමුතු විදියකට හරියට මේකිට මේකවත් තේරෙන්නේ නැද්ද කියලා අහනවා වගේ " අනේ ඒ මොකටද බනින්නේ... මම හොරෙන් කෝල් එකක් දුන්නා... එතකොට කිව්ව හම්බ වෙන්න ඕනෙ කියලා මෙතනට එනවා කිව්වා 11 වෙනකොට" ඇත්තම නේන්නම් තාම අපි මේ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. මම අහක බලං හිනා උනා... බඩුම තම්යි. අපිටත් අමරණිය වෙන්න පුළුවං කසුන් චාපා වගේ. අපිට කිව්වේ අපේ උන් දෙන්නෙකුට. එතකෝට මම සපෝටර්ද? අර තේමියට ක්‍රිශායි මාටයායි හිටයා වගේ. එළ එළ.... " සුමා දන්නවද?" මම හෙමින් අරෝ දිහා බැලුවේ එන යන බස් අතුලට ඇහැ දාගෙන මාලුවා ගොඩට ගත්තා වගේ නොඉවසිල්ලෙන් ඉන්න වෙලාවක. " අපෝ නෑ... ඒකිට දැම්ම කියන්න එපා... තාම මම හරියට දන්නේ නෑනෙ මොකද්ද සීන් එක කියලා. අනික පොඩ්ඩක් ආඩම්බර වෙන්නත් ඕනෙ ඕවට ආවොත්.... පැනපු ගමන් කැමැත්ත දෙන්න හොඳ නෑ" ඕක තමයි ගෑනු ගතිය... අර බොක්කටම වැදිලා හතර ගාතෙන් එන කොල්ලාව වටේ යවනවා. ඒත් සාම්ප්‍රදායික ගෑනු ආත්මෙකින් මිදෙන්න මම හිතන්නේ නෑ අපිට පුළුවං කියලා මොන බණ කිව්වත්. කොච්චර රබර් ඇහැ දාගෙන හිටියත් නදීශ බස් එකෙන් බහිනා දැක්කේ මම "අන්න එනවා.... චමතුත් ඉන්නවාද කොහෙද?" උන් දෙන්නා අර සිංදුයි බිංදියි වගේ... කොහෙ ගියත් එකට. මම හිතන්නේ කාන්දම් බලයක් තියනවා. " ගොඩාක් වෙලාද ඇවිත්...." චමත් කතා කලා. අරුං දෙන්නා නෝ කතා නෝ සිනා " අපි නම් ටිකක් වෙලා.... " ඉතිං මමවත් කතා කරන්න ඕනෙනෙ..." එහෙනම් නදියා අපි යමුද?" චමත් නදීශ දිහා බැලුවේ අර මොනාද වෙලා වගේ ඌ ඒ පැත්ත පලාතෙම තියන බිල්ඩින්, වාහන බල බලා සික් එකේ ඉන්න වෙලාවෙ. නඳිශ එකඟ උනා." අපි ඉස්සරහට ඇවිදින්න පටන් ගත්තා...මෙතන කතා කරන්නේ මමයි චමතුයි විතරයි. අරුන් දෙන්නා හැසිරෙන්නේ කවදාවත් දැකලා නැති උන් වගේ " ඇත්තටම චමත් අරුන් දෙන්නාට මොකද වෙලා තියෙන්නේ....?" "මටත් හිතා ගන්න බෑ බං... අර මොකද්ද එකක් දැකලා වගේ කටේ පුස් කාපු පාන් පුරෝගෙන වගේ මූණවල් බලන්නේත් නැතුව මොන නාඩගමක් නටනවාද කියලා" මට නිකමට හිතුණා චමත් මොකුත් දන්නේ නැද්ද කියලා.ඒත් නොදැන ඉන්න විදියක් නම් නෑ " අරෝ පාරෙ නෙවෙයි යන්නේ තණකොල අස්සේන්. කානු උඩින්.... අනේ මන්දා මේ ආදරේ කියන්නේ ලෙඩක්. මම දන්නේ නැද්ද අරෝ මොන බයි ලා කිව්වත්. එක පාරටම මම දැක්ක අරෝ බිම බලාගෙන යන්න ගිහින් නවත්තලා තිබූණු කාර් එකකත් ඩාං ගාලා හැප්පෙනවා. මම විතරක් නෙවෙයි චමතුත් දැකලා " ඕයි අරෝ.... නවත්තපුවට පැන්නට මැරෙන්නේ නෑ බං. අර පාරෙ යන එකකට පැනපං" මටත් හිනා... අරෝත් රතු වෙලා නදීශටත් ඒ පාර නම් හිනාවක් ගියා.

කැමැත්තට පෙර අකැමැත්ත ගැන මම පස්සේ ලියන්නම්

දෙපා වාරු නැත ඔබ හැර යන්නට

අහස උසට බලාපොරොත්තුත් එක්ක අපේ ජීවිත වල හොඳම කාලේ දවසින් දවස ගෙවිලා ගිහින්, ජීවිතයේ මල් මල් සමය වගේම ඉස්කෝලය කියන ජීවිතයේ කඩ ඉම සදහටම අපෙන් ඈත් වෙලා යනවා. අර බුද්ධාගම මිස් කිව්වා වගේ හැම දේම දවසක අපිට දාල ගිහින් ඇස් දෙක පියා ගන්න වෙනවා නම් ඉස්කෝලෙ දාලා යන එක මොකද්ද? ඒත් අනිත්‍ය මෙනෙහි කරලා මරණානුස්සතිය වඩන්න තරම් ගටක් අපට නෑ. අපි සම්පූර්ණයෙන්ම විභාගෙට ෆිට්ද නැද්ද කියලවත් දැනගෙන හිටිය නැති කාලෙ. අවුරුදු 13 තිස්සේ වද දුන්න ඉස්කෝලෙ දාලා යනවා කියලා හිතනකොටත්. සර්වාංගෙම පිච්චිලා යනවා. ආයෙ කවදා එන්නද? ඇත්තමයි මේ බිල්ඩින් වලට, මේ ගහකොල වලට පණ තියනවා නම් උනුත් කියයි අපිට යන්න එපා කියලා. ඒත් ඔක්කොමලා දාලා යන්න වෙනවා. සියඹලා ගහ විතරයි අපේ මතක සටහන් එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඒ විනය කමිටුවට හොරෙන් සියඹලා ගහට ගහපු ඩෙස් කෑලි පුටු කෑලි. හිතේ තියන අම්බානක දුක උනත් සියඹලා ගහට කියලා අඬන්න අපි පුරුදු වෙලා හිටියා. කොහොම උණත් ඉස්කෝලෙ අන්තිම දවස අපිට නොදැනීම ළඟට ආවා, ඒ අගෝස්තු නිවාඩු දෙන දවස. ඊට පස්සේ අපිට ඉස්කෝලෙ එන්න වෙන්නේ විභාගෙට. කවදාවත් ආයෙ එකට වල බහින්න හම්බ වෙන්නෙ නැති පන්තිය දිහා බලන්න දුකේ බෑ. මිස්ලා උනත් අපි ඉස්කෝලෙ දාල යනවට ගොඩාක් දුක් උණා. ඒක එයාලගෙ හැටියක්. අවුරුදු 13ක් තිස්සේ අපිව හදා වඩා ගත්තා අම්මලා වගේ එයාලත් අපේ වෙන් වීම ගැන, තව අනාගතය ගොඩ නගා ගැනීම ගැන ගුරුහරු කම් අන්තිම දවසෙත් අපිට දුන්නා. අනේ අපි කිව්ව දේවල් කරපු දේවල් වලට ඒ කකුල් අල්ලලා වැඳගෙන කල්පයක් හිටියත් මම හිතන්නේ නෑ අපේ පව අපිට ගෙවන්න පුළුවං වෙයි කියලා. ඒත් දෙයියනේ ඒ හැම වරදකටම ඒ වන කොටත් එයාල සමාව දීලා ඉවරයි. ඉස්කෝල ජීවිතේ අවසාන පැය කීපය අපි ගෙව්වේ කඳුලු ටොන් ගනන් හලමින්. එකෙක් දෙන්නෙක් නෙවෙයි මුළු පන්තියම. මට දැනුනේ මේ පංතියේ බිත්ති හතරත් අපිත් එක්ක අඬනවා කියලා. අර බලි ඇන්ඳ කලූ ලෑල්ලත් අඬනවා වගේ. මේ ඩෙස් පුටු.... හැම එකම. මම ගොඩාක්ම අඬන්න ඇත්තේ එදා තමයි. මතක ඇති කාලෙකට. කොහොමහරි ඉස්කෝලෙ අරෙන්න ඔන්න මෙන්න තියනකොට අපේ ඇඬිල්ල සෑහෙන්න වැඩි උනා. මල ගෙයක් වගේ " දෙපා වාරු නැත ඔබ හැර යන්නට" කියල බෝඩ් එකෙත් ලියලා. සුමා අඬන එක අස්සෙන් පන්තියට අහෙන්න කෑ ගැහුවා." මෙහෙම අඬලා අඬලා මේක දාල යන්න බෑ... අපි හිනා වෙලා දාල යමු බං" මම නම් ඒකට සම්පූරණයෙන්ම එකඟයි. ඒත් මේ ඉලව් කඳුලු නවතින්නේ නැති හැටි.
" සිංදුවක් කියමු" මහේශිගේ කතාවට අපි ඔකොම එකඟ උනා. ඇත්ත මෙච්චර කාලයක් තිබ්බ ෆන් එක අන්තිම මිනිත්තු කීපයදි නැති කර ගන්න ඕනේ නෑනෙ. අපි සිංදුවක් පටන් ගත්තා. "
පුන්සඳ වගේ ...... දිලෙන්නා
...... තමයි අපේ ඉස්කෝලෙ
...... කෙල්ලෝ ප්‍රීති ගීත ගයන්නා
.........වම ඩාන්ස් කරන්නා" අපි ඩෙස් වලට තට්ටු කර කර සිංදු කියනවා. අද අපිව කවුරුවත් නවත්තන්න ආවේ නෑ. මුළු ඉස්කෝලෙම දන්නවා අපි මේ දුකට කියන සිංදු කියලා. ඒ අතර අර පුරුද්දට වගේ අපේ පංතියේ ෆිට් එකක් ලඟ තිබ්බ වතුර බෝතලයකින් වතුර තව එකෙක්ගෙ ඇඟට ගැහුවා.... තරහකට නෙවෙයි ජොලියට. පන්තිය හිනස්සන්න. නැත්නම් සිංදු කිව්වෙ මල හොල්මන් නැගිටලා වගේ. වැඩේ නැගලා ගියා. අපි බකට් වෙන්න පටන් ගත්තා. පානීය ජලය එහාට යනවා, මෙහෙට යනවා. අපිත් කිසි ගානක් නැතුව නානවා. එහාට දුවනවා. මෙහාට දුවනවා, කෑ ගහනවා. දැං ඉස්කෝලෙත් අරෙන්න ළඟයි. කොහෙ ගියත් විනය කමිටුව අවසාන මොහොතෙත් ඉන්නේ අපිට රබර් ඇහැ දාගෙන නෙ. වතුර සෙල්ලම දැකලද කොහෙද විනය කමිටු මිස් කෙනෙක් අපේ පන්තිය ගොඩ බැහැලා. අපි දන්නවද ඕවා.. සුමා පංතියේ වෙන එකෙකුට ගැහුව මෙගා බොතලේක වතුර අර මිස්ගෙ ඔළුවෙ ඉඳං කකුල් දෙකට නෑවිලා. සෙල්ලම ඉවරයි. මිස්ට යකා වන්නම සිහි වෙලා. " ඉස්කෝලෙ ලොකුම ළමයි.... වැද්දෝ වගේ හැදිලා.... වතුර නාගෙන , මාවත් නෑව්වා.... එක්කෙනෙක් යන්නේ නෑ දැං ගෙදර.. ඔක්කොම නඟිනවා අර ස්ටේජ් එකට" ඒ පෙන්නුවෙ අපේ එළිමහන් රංග වේදිකාව. කට්ට අව්ව.... " ඔය ඇඳුම් වේලෙනකන් ඉන්නවා ඒකට නැගලා... පෝලිමට යනවා...." අපි පෝලිමට අර කට්ට අව්වේ කාටත් පේන්න හිටගත්තා. ඉස්කෝලෙ නංගිලා එහෙම අපි දිහා බල බලා ගියේ අයිෆල් කුළුන දිහා බලනවා වගේ. ඒත් අපිට ලැජ්ජාවක් ආවෙ නෑනෙ. තවත් මිනිත්තු කීපයක් හරි මේ කට්ට අව්වේ අපේ පන්තිය එකට ඉන්න ලැබීම ගැන අපි සෑහෙන්න සතුටු උනා

ඒ ලෙවල් ඉවර වෙලා උන වැඩ ගැන මම පස්සේ ලියන්නම්

නෑමෙන් උතුම් නෑම

අපේ ෆිට් එක පැයට කිලෝමීටර් එකසිය ගානට වැඩි වෙමින් තිබුණා. මුළු ක්ලාස් එකම දැනගෙන හිටියා අපි හොඳම යාළුවෝ කියලා. එකට යන්න එන්නත් පුරුදු වෙලා තිබුණේ. මම වැඩිපුරම කතා කරන්න සෙට් උනේ චමත් එක්ක මොකද එයා කියන සමහර දේවල් වලට හිනා වෙලා තවත් හිනා යනවා, ඒත් මාත් එක්ක වැඩියම කතා කරන්න ට්‍රයි කලේ නදීශ. ඕකනේ සෙනුට දිරෙව්වෙම නැත්තේ." උඹේ පස්සෙන්මයි අරූ..... " හැමවෙලේම සෙනූ කිව්වේ ඔහොමයි. චමත් , නදීශ කියන්නේ ක්ලාස් එකේ ගොඩාක් ප්‍රසිද්ධ දෙන්නෙක්. විශේෂයෙන්ම කෙල්ලො අතර. ඉතිං එහෙම දෙන්නෙක්ගෙ යාලූවෝ උන එකම මදිද? එක දවසක් අපිට ආරාධනාවක් ලැබුණා එයාලගෙ ඉස්කෝලෙ ජනමධ්‍ය දිනයට එන්න. අපිත් ඉතිං ජනමාධ්‍ය ගැන මොකුත් දන්නෙත් නැතුව එහෙ ගියා. අපිත් එක්ක අක්කලා දෙන්නෙකුත් ගියා. මාර කටර් දෙකක් තමයි. එයාලාගෙ හෝල් එකට ගිහින් ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කලේ එක එක ඒවාට කිංඩි දාන එක. කිරි අප්පට බල්ලෝ හැටහුටා මාරක් බුරපි කිව්වලු. ජනමාධ්‍ය සංගමයේ ප්‍රසිඩන්ට් උනේ චමත්. අපි දැනගෙන නෙවෙයි ආවේ. කාටද ආඩම්බර. අපේ ෆිට් එකනේ. මාර තැනක් මටයි අරෝටයි ඇති වෙලා කියල හිතාගෙන අපි දෙන්න අඩි දහයක් විතර උඩින් තමයි වැඩ සිටියේ. කොහොමහරි මීඩියා ඩේ එක පටන් ගත්තා. එහාට මෙහාට යන ගමන් නදීශ අපිට කන්න බොන්න නම් අඩුවක් නැතුව දුන්නා. චමත්ව නම් ඉඳලා හිටල තමයි දැක්කේ. ඒ අස්සේ අර සමයං අක්කා කෙනෙක් අපිට ඇහෙන්න කියනවා. " පැනියෝ දෙන්නෙක්ද කොහෙද" කියලා. අපි ඉතිං ඇහුනේ නෑ වගේ හිටියා. මොකද උන්ට පැනියො කිව්වයි කියලා අපි දෙන්නගෙ ඇඟේ වඳින්නේ නෑනෙ. ඉතිං වැඩ අස්සේ චමතුත් අපි හිටපු තැනට අවිල්ලා අහුවා" කොහොමද වැඩේ හොඳද?" කියලා ෆිට් එකටනේ.... අපිත් එක්ක ගිය මිස්වත් මොකුත් කිව්වේ නෑ.මෙන්න ඒපාර අර හිටපු සමයමක් කියනවා" මේ ඔයාලාට මෙයාලත් එක්ක කතා කර කර කන්න බොන්න දෙනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද" කියලා. අපිට පොඩ්ඩ්ක් වගේ නෝන්ඩි ගතියකුත් දැනුනා, ඊට වඩා මල පැන්නා. අපි ඇවිල්ලා ම්ව් කිරි බීලා හැදිච්ච උන් නේ. මමයි අරෝයි දෙන්නම දත් මිටි කනවා. කොච්චර තදින් කනවද කිව්වොත්. විනාඩි 15ක් විතර කෑවානම් දත් නෙවෙයි දත් වල නටඹුන් තමයි හොයා ගන්න වෙන්නෙ. "ආයේ කියපු දෙංකෝ මොනා හරි මම බලාගන්නම්". අරෝ තනියමද මට ඇහෙන්නද කියනවා. මටත් අම්බානකට නෙලන්න ආසවේ හිටියේ. කොහොම හරි වැඩේ හොඳට කෙරීගෙන යද්දී නදීශ අපි ලඟට ඇවිල්ලා ඇහුවා.." ඔයාලට සුවනියර් හමබ උනා නේද කියලා" එතකොට අරුංගෙන් එකෙක් කියනවා." සුවනියර් නම් මීට කලින්ම මෙයාලට දීලා පාටයි" කියලා. අරෝ නොදන්නවා වගේ අතේ තිබ්බ පෝටෙලො එක අර දෙන්නගෙ සුදු ගවුම් වැහෙන්නම හැලුවා. ඒක හොඳට බලාගෙන හිටපු නදීශටත් හිනා. අරුං දෙන්නා පුපුරනවා." අක්කලාටත් ඕනෙ නම් ඕක හෝදගෙන මෙයාලාගෙන් සුවනියරුත් අරං එන්න" කියලා අරෝ ඇඟට නොදැනී කියලා දැම්මා. එදයින් පස්සේ අපට මොනා හරි කියන්න කලින් ටිකක් කල්පනා කරන්න එයාල පුරුදු වෙන්න ඇති. අපි දෙන්නා කරපු සෑහෙන්න ලොකු වීරකම නිසා අපි දෙන්නට තවත් හොඳ සැලකිලි ලැබෙන්න උනා. කොහොම හරි අර දෙන්නා රතු පාටට පෝටෙලෝ යනකන් ටැප් එක ලඟ මීඩියා ඩේ එක බලන්න ඇති. පව් තමයි ඒත් අන්න ඒකයි අක්කලාගෙත් අක්කලා කියන්නේ අපිට. මෙහෙම හිටියට අපිටත් යමක් කමක් පුලූවන්. වලි නම් වලි ශේප්නම් ඒත් වලි. ඒත් දෙයියනේ එහෙනම් අපේ ආයුෂ උනත් මෙච්චර වෙන එකක් නෑ, මොකද මුන් හිතිං බනින්නේම හෙන ගහපං කියලානෙ. කමක් නෑ..... ඕන වලියකට අපිත් රෙඩී... ඒත් බය වෙන්න එපා. අපි ඔහොම කිව්වට බෝ පැල වගේ....

අහස උසට බලාපොරොත්තු ගැන මම පස්සේ ලියන්නම්

සීගිරි වන්දනාව

සිංහල පංතියේ ටික කලක් යනකොට ගොඩාක් අය ෆිට් උනා. අපේ කල්ලිය ගැහැණු පිරිමි කියලා දෙකොට්ටාශයෙන්ම වැඩි වෙමින් පැවතුණා. පංතියේ තිබ්බ ෆිට් එක නිසාම අපි එකතු වෙලා සීගිරිය නගින්න තීරණය කර ගත්තා. ගෙවල් වලට කිව්වේ කෙල්ලො සෙට් එක විතරයි යන්නේ කියලා. ඇත්ත කිව්වා නම් ට්‍රිප් එක යන එක කෙසේ වෙතත් ක්ලාසුත් යන්න බැරි වෙන වැඩක් වෙන්නේ. මහේෂිලාගේ වාහෙනෙ තමයි යන්න සෙට් කර ගත්තේ ඉස්කෝලෙ නිවාඩුවක, සෙනසුරාදාවක් අල්ලලා පාන්දරම සීගිරි යන්න අපි පටන් ගත්තා. කට්ටිය 20ක් විතර හිටියා. හිතුවට වඩා මහේශිගේ අයියාත් මාර ජොලි. පටන් ගත්ත වෙලාවෙ ඉදලා සිංදු වලින් ඉවරයක් නෑ. අපේකෙල්ලො ගැන්සියට සෙට් උනේ ක්ලාස් එකෙ අයියාලා ටිකක්. එයාලා ක්ලාස් ආයෙ එනවා කැම්පස් යන්න ගොඩ දාගන්න. ඒ අතර සෙනු මැරෙන්න හදන නදීශ අයියායි එයාගෙ යාලුවයි හිටියා එතකොට අනිත් උනුත් එයාලගෙම යාලුවෝ සෙට් එක තමයි. සමහරු අපි දැක්කේ එදාමයි. නදීශගෙ යාලුවා (චමත්) හැම වෙලේම බයිට් එකට ගත්තේ සෙනුව. සෙනූටත් ගානක් නෑ... ඔහේ හිනා වෙවි ඉන්නවා.. අර අපිත් එක්ක යන ඩෝං මෙයාලත් එක්ක යන්නේ නෑ. නදීශ වැඩිපුර කතා කරන්න ආවේ මාත් එක්ක. ඒ අතර අපි විවාද තරඟත් යනවා... පුදුම වැඩේ කියන්නේ අපේ සෙනු උදව් කරන්නේම අයියලාටනේ. අපිට මරාගෙන කන්න කේන්තියි. ඒත් එහෙමම තමයි. සුමා හැම වෙලේම කලේ සෙනූට එරෙව්ව එක. අපි හැම එකෙන්ම පැරදුනා සෙනුට පිංසිද්ධ වෙන්න. කොහොම හරි දවල් එකොලහ වගේ වෙනකොට අපි සීගිරියට කිට්ටු කලා. කට්ට අව්ව පැලෙන්න රස්නෙයි, ඒත් අර තිබ්බ ෆිට් එකට අපි සීගිරි නගින්න සෙට් උනා. ' මේ මේ අරෝ ඔයාලා ඉස්සරහින් යන්න අපි පිටි පසෙන් එන්නම්" චමත් එහෙම කිව්වෙ අනිත් උන් දිහා බලල හිනා වෙවි. මට මොකද්දෝ අමුත්තක් දැනුනා. දැං මුං මොකාටද එන්න යන්නේ..... " නෑ නෑ ඔයාල ඉස්සරහින් යන්න අපි නගින්න පරක්කු වෙයි" සුමා චමත්ට උත්තර දුන්නා " එහෙම හරි නෑනෙ සුමා ඔයාල ඉස්සරහින් යන්න, අපිටත් ජොලියක් තියන්න ඕනෙනෙ." ජොලියක්... මේ මොනා ගැනද කියවන්නේ.. අපි මූනට මූන බලා ගත්තා. මහේෂිටත් අපිට වගේ ම මොකුත් හිතා ගන්න බෑ. අරො ටික වෙලාවකින් මට ලං උනා. "මේ බලපංකෝ සෙනූ ඇඳං ඇවිත් තියන එක... අර වගේ උඩ යද්දී යට ඉන්න උන්ට අඩල්ට්ස් ඔන්ලි නේ" අරොගෙ කතාවෙන් තමයි අපිට චමත් කිව්ව කතාව හොඳටම තේරුනේ.... අපිටත් ඒකෙ ගානක් තිබ්බේ නෑ වෑන් එකෙ එනෙකන් මොකද මේකි අදින්නේම කොට කෑලි නිසා. ඒත් දැං මොනා කරන්නද? සුමාට ඉතිං සුපුරුදු පරිදි මල පැනලා. " "මොකද නංගිලා ප්‍රශ්නයක්ද? " චමත් ඇවිල්ල් අහුවේ අපේ ප්‍රශ්නේ හොඳට දැනගෙන. " නෑ මේ මොකුත් නෑ" මේ වෙනකොට සෙනූට සුමා හොඳට බැනලා හිටියේ. " චමත් ඔයාලා ලඟ නැද්ද වැඩිපුර කලිසමක් එහෙම" ඒ ගොන් ප්‍රශ්නෙත් අඟට පතට නොදැනී අහුවේ සෙනූ. චමත්ලාට පණ යන්න හිනා, මේකිට ලැජ්ජාවේ එක නූල් පොටක්වත් නැති හැට අම්මපා..." ශෙහාන්ගෙ කලිසමක් නම් තිබ්බා ඒත් සෙනූ ඔයාට වගෙ දෙන්නෙකුට ඒක අදින්න පුලුවන්. " කමක් නෑ ඒක දෙන්න මම මේ බෙල්ට් එක දාල ඒක ඇඳගන්නම්." විලි ලැජ්ජාවේ පණ යනවා. මෙන්න මේකි මීට කලින් දැකලාවත් නැති එකෙක්ගෙ කලිසමක් ඇඳගෙන එනවා බෙල්ට් එකකුත් දාලා ඒකත් උස්ස උස්ස. චාටර් වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙනෙ. සීගිරි නැගලා බහිනකන් අපිට නම් ලැජ්ජාවට වචන ආවෙත් නෑ... ඒත් මේකිට ගානක් නැති උණානෙ. අර කලිසමත් උස්ස උස්ස සීගිරිය නැගලා බැහලා ඇවිත් තැන්ක් යූ කියලා කලිසම ගලවලා ශෙහාන්ට දුන්නත් එක්ක කිසිම ගානක් නැතුව. මේවා හිරිඔතප්පේ තියන එකෙකුට උනානම් මෙලහට මැරිලා ලැජ්ජාවට. ඒත් සෙනූට ඒක උපතින්ම නැති වෙලා

අපේ ෆිට් එක ගිය දුර මම පස්සේ ලියන්නම්

කුතුහලය

කුතුහලයක් නැති කුතුහලයක් ගැන අහල තියවද? ඒක නම් මරු. මාර කුතුහලයක් තමයි තියෙන්නේ.... අපිට කියන්න දේවල් ගොඩාක් තියෙන්නෙ සිංහල ගැන තමයි. මොකද අපි ඔක්කොමලාටම මරු මරු වැඩ වෙලා තියෙන්නෙත් සිංහල නිසා. සෙනු වැඩි හරියක් කලේ සිංහල පීරියඩ් එකේ නිදා ගත්ත එක. සිංහල ක්ලාස් එකේදි කලේ නදීශ දිහා බලාගෙන හිටපු එක. සෙනූ ගැන නම් ඕන තරම් ලියන්න පුළුවන්. මම මේ කියන්නේ අපි සිංහල වලට කාපර්ලා කියලා නෙවෙයි. කොහොම හරි අපේ සිංහල මිස් ගොඩාක් වෙලාවට පංතියට එන්නේ පීරියඩ් එකෙන් බාගයක් ගියාට පස්සේ. ඇවිල්ලා අපෙන් අහනවා. " ළමයි අපි කරන්නේ මොනාද? සැළලිහිනියද? පුරාතන ගද්‍යද? මනමේද? නූතන පද්‍යද? කෙටි කතාද නැත්නම් යුගාන්තයද?" කියලා අපි පැනපු ගමන් කියන්නෙ මනමේ හරි යුගාන්තය හරි කෙටි කතා හරි කරමු කියලා. නූතන පද්‍ය හරි පුරාතන ගද්‍ය හරි සැළලිහිණිය හරි කිව්වොත් මිස් ගොඩාක් අමාරුවේ වැටෙනවා. මොකද ඒවයේ තේරුම පන්තියට පේන්නෙ නැති වෙන්න හොරෙන් පොතේ පිටිපස්සෙන් බලන්න ගිහිං. ඒත් එදා මිස් ගෙදරින් පාඩම් කරගෙන අවිත්ද කොහෙද එක පාරටම නූතන පද්‍ය පටං ගත්තා. ෆුල් හොල්මන් පාඩමේ නම නිශ්ශබ්දතාවය. කියලා වැඩක් නෑ සෙනුවා ඈනුමක් ඇරියා ආයේ හතර කේන්දරේම පාලු වෙන්න. " කට වහ ගනිං" සුමා සෙනුට විතරක් ඇහෙන්න කිව්වා. " අද සිංහල පීරියඩ් කීයද බං" "දෙකයි දෙකයි" සෙනු ඩෙස් එකට ඔලුව තියා ගත්තේ "ඉවර උනාම මාව ඇහැරවපං" කියලා... දැං පාඩම පටන් ගත්තා. කවිය මුල ඉඳං අගටම එකෙක් කියවගෙන ගියා. මිස් පාඩම විස්තර කරන්න පටන් ගත්තා " අද නම් මිස් හෝම් වර්ක් කරලා ඇවිල්ලා" අරෝ මගෙ දිහා බැලුවා
" මට මේ කවිය කියවද්දී දරුවනේ..... කවිය පුරා දැනුනේ කුතුහලයක්" කුතුහලයක්.....? එහෙම එකක් නම් අපිට දනුනේ නෑ.. ඒක තිබුණෙ මෙන්න මෙහෙමයි
" දෑත් බිම ඔබා පස්සට වාරු වී
නිසසලව සිටි ඇගේ මුව දෙස
බැලු මා
කීමට දිගු කලක්
පුල පුලා බලා සිට යමක්
නොකියා නිහඬ වීමි" (ඔන්න ඔහොම තේරුමක් තිබුනේ මේ ඒකෙ හරියට හරි වචන නෙවෙයි) ඔය වගේ තෙරුමක මොකද්ද තියන කුතුහලය. ඔය කවියේ හැම වචනයක් ගානෙම මිස් කලෙ " දැං බලන්න ළමයි කුතුහලය" කියන එක. ඒ ටික මිස් කියන්නෙත් පන්තියම දෙවනත් වෙන්න. සෙනුව ඒ හැම වෙලාවකම උඩ ගිහිං ඇහැරෙනවා. සෑහෙන්න තරහ ගිහින් සෙනුව අපිට විතරක් ඇහෙන්න " ආයෙ එක සැරයක් කුතුහලය කිව්වොත් මේ පොත තියෙයි මිස්ගෙ මේසෙ උඩ" අරෝ හිනා උණා " හා බලමුකෝ" සුමා කියනවා" මතක් කරලා නූතන පද්‍ය පොත යවපං" ඉතිං පෙර සේම මිස් අන්තිම පේලිය ඉවර වෙලාත් කිව්ව " ඔන්න බලන්න ළමයි කුතුහලය" කියලා. එක පාරටම ' දඩ බඩෝං' ගාලා සද්දයක් එක්ක මිස්ගෙ ඔලුවට පොත් දෙක තුනක් වැටුනා. සිද්දිය පැහැදිලි නැති නිසා අපි සෙනු දිහා බැලුවා. ' යකෝ මේකි ඇත්තටම පොත යව්ව වත්ද කියලා' දැං නම් ඇත්තටම දැනුනෙ කුතුහලයක්. ඒත් සෙනුවත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා වෙච්ච වැඩේ. මිස් ඔලුවේ තියන දූවිලිත් පිහ දදා නැගිට්ටා " වහලෙ හිටපු උගුඩුවෙකුටත් කුතුහලය වැඩිවෙලා සීලිමේ තිබ්බ පොත් ටිකත් පෙරලගෙන දිව්වා" කියල විස්තර කලා. දැං තේරුනා. සීලිමට විසි කරපු කැඩිච්ච පොත් පෙරලිලා සීලිමේ හිලකින් මිස්ගේ ඔලුවට වැටිලා. මාර සීන් එක තමයි. එදාට පස්සේ සෙනූ සිංහල පීරියඩ් එකේ නිදා ගත්තේ නෑ. අනික මිස් ආයෙ කවදාවත් කුතුහලය තියන පාඩම් කලේ නෑ


සිංහල පන්තියේ උන වැඩ ගැන පස්සේ ලියන්නම්

තිරය ඇරෙනවා... තිරය වැහෙනවා...

කලා උළෙල කියන්නේ ආර්ට්ස් සෙක්ශන් එකේ වෙඩින් එක වගේ උත්සවයක්. ඉස්කෝලෙ ඉන්න ලොකු අක්කලා විදියට අපිට තිබ්බ වගකීම් නම් කියලා වැඩක් නෑ. ඒත් පච හලනවා ඇරෙන්න අපිට මහ ලොකු වැඩක් තිබ්බේත් නෑ. පහු ගිය ටිකේම වෙන වෙන ඉස්කෝල වල කලා උළෙල වලට යන්න උනේ මටයි, අරෝටයි සුමාටයි සෙනූටයි. ඉතිං ඒ අත්දැකීම් එක්ක අපේ කලා උළෙල එළට කරන්න නම් අපි සප් එක දුන්නා. කලා සංගමයේ අපිට ඔය පට්ටං නම් තිබ්බේ නෑ. හැබැයි රෑ දවල පන්ති පාඩු කරගෙන මාර ගේමක් දුන්නා අනික් ඒවට වඩා හොඳට කරන්න. ඔක්කොටම වඩා හොඳට අපි කරන්න හිතං හිටයේ අපේ නාට්‍යය.... මොකද අපේ ටැලන්ට් එක පෙන්නන්න තියන හොඳම මාධ්‍යය උණේ ඒක. නාට්‍යය ලිව්වේ මම. හිතා ගන්න පුළුවංනේ කොහොමද කියලා. අනික චාටර් නැතුව ආයේ වෙන ඉස්කෝලෙක කලා උළෙලකට යන්නත් ඕනෙ නිසා උපරිම වැහෙසින් අපි නාට්‍යය ප්‍රැක්ටිස් උණා. මාතෘකාව උනේ කලා විෂය කරලා කැම්පස් ගිහින් රස්සාවක් නැති වෙන එක. ශිඃ කියලා වැඩක් නෑ රැකියා විරහිත උපාධිදාරීන් හෝ ගාලා. සුමා ඒකේ ප්‍රධාන චරිතයක් කලා. අනේ මට ඉතිං ඔය සබකෝලෙ එක්ක මොකුත් කරන්න බෑ. මම වැඩිපුරම කලේ වැරදි හදන එක, ඇදුම් අන්දන එක. අනික මේක හොඳට කරන්න ඕනෙ කියන්නේ.... අපේ සිංහල ක්ලාස් එකේ අයියාලාත් එනවා අපේ කලා උළෙල බලන්න.
සුපුරුදු පරිදි කලා උළෙල පටන් ගත්තා.... ගානට අපේ වැඩ ටික කරගෙන එනවා..... මම ඉතිං ස්ටේජ් එක පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවා. පොඩි ආඩම්බරයකුත් තියනවා. අරෝ මා ලඟට ආවා." මාර කේස් එක බං.... " අරෝ පොඩ්ඩක් හොල්මන් වෙලා වගේ.... " ඇයි උඹට උණ ගැනිලා වගේ..., මොකද්ද කේස් එක" අරෝ වට පිට බලලා මගෙ කනට ලං උනා...." සුමාට බඩේ අමාරුවක්, ස්ටේජ් එකට යනවා තියා කෙලින් ඉන්න පණ නෑ ඒකිට" මලා...... මට හීන් දාඩිය දැම්මා එතනින් දුවගෙන දුවගෙන ඇවිල්ල අපේ පන්තියේ කරටි කඩාගෙන ඉන්න සුමා ලඟ මම වාඩි උනා. " සුම්..... උඹට මොකද බං" මම දැනගෙන ඇහුවා. අර නාල එනකොට නෑවද අහනවා වගේ. " මට ස්ටේජ් එකට යන්න තරං පණක් නෑ බං" දැං මගේ පණත් නැති වේගෙන එන්නේ.... සුමා නැත්නම් නාට්‍යය කරලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි කට්ටියක් දම්මලා රූකඩයක් නටවනවා. අරෝයි , මමයි නිකං පිස්සන් කොටුවට ඇඩ්මිට් වෙන්න කිව්වා වගේ. "වෙන එකෙක් හොයා ගන්නත් වෙලාව නෑ. දැං ඉන්ටවල් එකෙන් පස්සේ නාට්‍යය. මොකද කරන්නේ" මට පුළුවන් කම තිබ්බනම් මම ඒ වෙලාවෙ කකුලේ නියපොතු ටිකත් කනවා. පන්තියේ තව එකෙක් කිව්වා.." සෙනුට යන්න කියමු, " අපි ඔක්කොම සෙනු දිහා බැලුවා. " අනේ මට බෑ... බුදු අම්මෝ....." අරෝ සෙනූ ලඟ බැගෑපත් උනා." අනේ අපි වෙනුවෙන් මේක කරපං.... බලපං බං උඹට සුමාගේ ඩයලොග් කට පාඩම්නෙ" ඇඩෙනවා.... මේකි එළුවෙක් වගේ බෑ කියා ගත්ත ගමන්මයි. " සෙනූ නදීශ අයියත් ඇවිත්නෙ බං" ඒ තැනට සුදුසු නුවණ ආවේ අපේ පන්තියේ හිටපු මහේශි කියලා ෆිට් එකකට. සෙනු නිකං අර බැටරි බැහැලා තිබ්බ ටෝච් එකකට බැටරි දාලා වගේ චාර්ජ් උනා. " නදීශ අයියා ඇවිල්ලා...."අපේ සිංහල පංතියට යන ඔක්කෝමලා දැනගෙන හිටියා සෙනූ නදීශ ගැන වැඩිය හෙව්වාට ඌට ගානක් නෑ කියලා. " ඔව්.. උඹ දැක්කේ නැද්ද.. ඇවිත් ඉන්නේ... කරපංකෝ රෝල් එක.... කාටද ආඩම්බර" අපි දන්නවා දැං වැඩේ හරි බව. සෙනූ ටික වෙලාවක් කල්පනා කලා." හරි උඹලා අමාරුවේනේ මම කරන්නම්" මට ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනේ සෙනූව නෙවෙයි, මහේෂිව. ඉතිං සෙනු ඒ චරිතේ කලා ඒත් පටන් ගත්ත ගමන්ම නා ගත්තා. පටන් ගන්න තිබ්බේ තරහින් එහාට මෙහාට යන සීන් එකකින්. සෙනූ ඇන්දේ සුමා ගෙනාපු ඇඳුම්නෙ ඒවා සෙනූට දිගයි. එක පාරක් එහා පැත්තට ගිහින් අනික් පාර හිතට අරං අනිත් පැත්තට යන්න ගිහින් දඩෝං ගාල ස්ටේජ් එක මැද වැටුණා. වස නෝණ්ඩිය තමයි. ඒත් නාට්‍යය අඩුවක් නැතුව කෙරුනා. ඔහොම තමයි නපුරු කලට වොට් ටු ඩූ

කුතුහලයක් නොවූ කුතුහලයක් ගැන මම පස්සේ ලියන්නම්

අපේ අලුත් පංතිය

සුන්දරම කාලය ආරම්භ උනේ ඒ ලෙවල් වලින්.... හරියට අර පුංචි කාලෙ එකට එකතු වෙලා කෝම්පිට්ටු හදනවා වගේ.. කියාගන්න බැරි තරම් සමඟියක් එක්ක ඒ ලෙවල් වලට අවුරුදු දෙකක් ඉගෙන ගන්න බලපොරොත්තුවෙන් අපේ පන්තියට අඩිය තිබ්බා. අනේ මන්දා වෙනදා නොදැනුන අපේ කමක් දැනුනා ඒ දවසේ. දවසෙන් දවස නාකි වෙද්දි එහෙම තමයි. දාල යන්න වෙනව කියල හිතද්දි එහෙම තමයි. මමයි අරොයි සුමයි එක ලඟ මේස තුනක් එකතු කර ගත්තා. අම්මේ ... දූවිලි.... මකුලුවෝ බංගලා ගහල මේස යට. අපේ පංතියේ අපේ ඩෙස් පේලියේ අපි තුන් දෙනා ඉඳගත්තා. අරෝ මටයි සුමාටයි එක ලඟ ඉඳගන්න දුන්නේ නැත්තේ ඊරිසියාවට නෙවෙයි, ඒ අපි දෙන්නා එකට හිටියොත් පංතියේ එකෙකුටවත් ඉගෙන ගන්න වෙන්නේ නැති නිසා. ඒත් අපි හොඳ ළමයිනෙ... එදා ඒක අරෝට තේරෙන්න නැතුව ඇති. අපේ ඩෙස් තුනට තව එක ඩෙස් එකක් වැඩිපුර තිබ්බා. ඒකෙ කවුරුත් හිටියේ නෑ. පංතියට එන උන් දිහා අපි තුන් දෙනාම හොරෙන් බැලුවේ මොකා අවිල්ල එතන ඉඳගනීද කියලා. තාම කවුරුත් ආවෙ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න ඔන්න මෙන්න තියලා හදිස්සියේ පිස්සු හැදිලා වගේ දුවගෙන ආව මැන්ටලයක් අපෙන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව එතන එයාගෙ වගේ වාඩි උනා. අපි තුන් දෙනා මූණට මූණ බලාගත්තා. ඒත් අපි හොඳයි. අපි නෑනෙ ඔය රණ්ඩු වලට. අපේ පංතියේ පන්ති භාරව හිටියේ හුරුබුහුටි මිස් කෙනෙක් දැක්කාම හිත පැහැදෙනවා. අපි පැහැදිලිවම කලාව රසවින්ඳා. මිස් හරිම රසවත්.. ඒ වගේම ළමයි එක්ක යාලුවෙක් වගේ කතා කරනවා. එහෙම මිස් කෙනෙක් දකින්නත් ආසයි. ඉතිං අපි සෑහෙන්න පැහැදුනත්. අහන්නේ බලන්නේ නැතුව අපි හදා ගත්ත ඩෙස් එක අයිති කර ගත්ත මේ භූත ආත්මෙ ගැන අපි තුන්දෙනාම හිටියේ අම්බානක තරහින්. මිස් ගිය ගමන් අරෝ අර අපි අතරට ආව අලුත් හොල්මන දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. කිසි හැල හොල්මනක් නෑ. " උඹට මතකද මේකි අපේ පංතියක හිටියා. මම හිතන්නේ 8" අරෝ මගේ දිහා බැලුවා. මමත් හොඳට රබර් ඇහැ දැම්මා. "ඔව්මයි... මේ අර ප්‍රජනනය පාඩම කරද්දි කලන්තේ දැම්ම සමයමනේ" සුමා හෝ ගාල හිනා වෙනවා. අපිටත් හිනා. " පව් බං ඔන්න ඔහේ හිටපුදෙන්. අපි වගේම පිස්සු කේස් එකක්ද කොහෙද? ඒකිට මේ පංතියේ යාළුවෝ නැතුව ඇති." මම අරෝට කිව්ව නිසා අරෝ එයාට මොකුත් කියන්න ගියේ නෑ. ඒත් සුමා ලඟම එයා හිටපු නිසා. සුමා එයා පැත්තට හැරුනා. " මම මේ අහන්නමයි හිටියේ.. ඩෙස් වල දූවිලි කාලා හදලා එහෙම තිබ්බාට පස්සේ ඉඳගන්න හරි ලේසියි නේද?" එයා අපි ඔක්කොම දිහා බැලුවා...." අනේ සොරි... මෙතන වෙන කවුරු හරි ඉන්නවද? මම වෙන තැනකට යන්නම්. අද පොඩ්ඩක් පරක්කු උණානෙ එන්න... පංතිය දන්නේ නැතුව මම උඩ පංතියකත් ටිකක් වෙලා හිටියා"මෙන්න මේකි කියාගෙන කියාගෙන යනවා. පව් කියලත් හිතුනා. මේකිට අපිටත් වඩා පිස්සු වගේ. " නෑ නෑ මෙතන කවුරුත් නෑ ඉන්න පුලුවන් ඒත් අපි ඔයාට කවුරු කියලද කතා කරන්න ඕනෙ." ආයේ ප්‍රශ්න වටය සුමා පටන් ගත්තා. " මම සෙනුජනා.. ඔයාලා" මූණෙ හැටියට නම නම් මාර පොෂ්.... දිව උලුක් වෙන නමක් අනික. ඕක දිගටම කියන්න උණොත් දිව හැපිලා හැපිලා දිවක් හොයා ගන්න නැති වෙනවා. කොහොම හරි සෙනුජනා කෙටි කරලා ටික කාලයක් යද්දි 'සෙනු' කියන නම එයාටත් රෙජිස්ටර් උනා. මුලින් මුලින් අපේ කැමැත්තක් නොතිබුනත් පසුවට සෙනු අපේ වගේ උනා. හැබැයි තාමත් ටිකක් දුරින්.

කලා උලෙල ගැන මම පස්සේ ලියන්නම්

ජපන් පංතියක් නිසා...

ජපන් කියන්නේ මම A/L වලට තෝර ගත්ත විශයන් වලින් එකක්. මම හිතා ගත්තේ ආට්ස් කරන්න. ලියන්න කියවන්න තිබ්බ උණ නිසා සිංහල වලටත් මම මාර ආසවක් දැක්වුවා. මොකද සිංහල කියන්නේ මාව සිංහ වංශයට ඇදලා දැම්ම විශයක්නේ. ඉතිං අනික් විශය උනේ සිංහල සංගීතය. ගොඩාක් කට්ටිය කිව්වේ අච්චාරුවක් කියලා. කිසිම තේරුමක් නැති විශයන් ටිකක් කියලා. ඒත් මම කලේ මට කරන්න පුලුවන් දෙය. ජපන් කරන්න පුලුවන්ද බැරිද කියල අයිඩියා එකක්නම් තිබ්බේ නෑ. ඒත් වෙන භාෂාවකින් කච බච ගාන්න ආසාවක් තිබ්බා. මම ඉතිං ජපානෙ ගැනත් අරව මේව පොත් කියෙව්වා. නිකං හීනෙන් වත් ජපන් යන්න පුලුවං උණොත් කියලා. කොහොම හරි ඕ ලෙවල් රිසල්ට්ස් එන්නත් කලින් අපි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තා. ඒක සාමන්‍ය හැටියනේ. මගේ ෆිට් එක නිසාම අරෝත් ආට්ස් වලට බැස්සා... තව සුමා, ඒකිත් ආට්ස් කලා. මුන් දෙන්නම කැමති ගනන් වලට ඒත් අපේ ෆිට් එක නිසාම මුන් ඒවා අත ඇරලා මාත් එක්ක සෙට් උනා.හැබැයි මට ගනන් වලට හැකියාවක් තිබ්බනම් මමයො මත්ස් කරන්නේ. හොඳ වෙලාවට මට ගනන් බෑ. ඕක තමයි පව කියන්නේ. ඒත් මොනා කරන්නද අපි තුන් දෙනා ගොඩාක් සතුටු උණා ආයේ එකට ක්ලාස් යන්න. එකට එක පංතියේ ඉන්න. සුමයි අරොයි දෙන්නම මාත් එක්ක සිංහල කලාට අපේ අනිත් සබ්ජෙක්ට් වෙනස් උනා. මොකද ජපන් උණක් මට තිබ්බට ඒ දෙන්නට ඒක තිබ්බේ නෑ. සිංහල වලට අපි ලංකාවේ හොඳම සිංහල ගුරුවරයා ලඟට ගියා. මාරයි ඒක නම්. ඉතිං ජපන් වලට ක්ලාස් එකක් හොයා ගන්න අමරු උනාම අපේ අම්ම හැම තැනින්ම අහලා බලලා ජපන් උගන්නන්න ගෙදරටම ස‍ර් කෙනෙක්ව සෙට් කර ගත්තා. ඔහොම ඒ කාලේ ගෙවිලා යද්දි. බොරුවට අරවට මේවට අපි ඉස්කෝලෙ පැත්තේ යන්න අමතක කලෙ නෑ. වැඩිපුරම අපි ඉස්කෝලෙ ගියේ වල බහින්න. පන්තියක්වත් තිබුනේ නැති අපි වල බැස්සෙ ගහක් යට, එහෙම නැත්තනම් කැන්ටිම ඉස්සරහා.
මේ අතර තුර අපි ලකුණු දා ගන්න මිස්ලාට කඩේ යන්නත් පුරුදු වෙලා හිටියා. මොකද අපි එච්චර හොඳ ළමයි නෙවෙයිනෙ ඕ ලෙවල් පන්ති වල, ඉතිං ඒ ලෙවල් වලත් ලෙඩක් උනෝත් අර ඇගයීම්ද මොනවද ඒවට ලකුණු අඩු වෙන නිසා අපි මිස්ලා ෂේප් කරගන්න ෆුල් ගේමක් දුන්නා. ඉතින් මම කඩේ ගියේම ඉංග්‍රීසි මිස් කෙනෙක්ට, අනේ මන්ද සංසාර පුරුද්දක් වෙන්න ඇති. අපි ගැන එයාල හරියට පැහැදිලා හිටියේ. අපේ නම් වත් දැනගෙන හිටියේ නැති මිස්ලා අපෙ නම් වලින් කතා කරන්න ගත්තා. දවසක් තමයි මට තරු පෙනුනේ. අර ඉංග්‍රීසි මිස්ගේ පොත් කබඩ් එක මම දූවිලි එහෙම පිහලා දාලා අස් කර කර ඉන්නකොට. මිස් හරි ආදරෙන් මා ලඟට ඇවිල්ලා ඇහුවා " So dear what are you going to do for your A/l s ?" කියලා. කතාව පැහැදිලි. ඕක මේ දවස් වල හැම කෙනාම අහන ප්‍රශ්නෙනේ.... මම පැනපු ගමන් කිව්වා" Sinhala, Music, Japanese" කියලා. දැං මිස් මගෙන් අහනවා "ohhh Japanese..... where are you going for your classes? " මලා.... දැං කියපංකෝ ගෙදරට එනවා කියලා ඉංග්‍රීසියෙන්. මොකෝ Home coming කියන්නද? එහෙම නැත්නම් At home? අනේ මන්දා මම ඉතිං ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා" මිස් උගන්නන්න ගෙදරට එනවා" කියලා සිංහලෙන්ම.ආයෙ මොකටද ඕව නොදන්න ඉංග්‍රීසියෙන් කියන්නේ. පස්සේ ඉතිං ඉංග්‍රීසි මිස්ට කඩේ යන එක නැවතුණා ලැජ්ජාවට.
සුමා හැමවෙලාවෙම කිව්වා දන්න දෙයකට කඩේ පලයං කියලා... කෝ මම ඇහුවද? මටත් ඉතිං ඕනෙ උනානෙ එංගලන්තේ අල්ලන්න. ජපන් කරන නිස හීනෙන් හරි ඒ පැත්තෙත් ගිහින් එන්න.


සුන්දර කාලයේ පටන් ගැන්ම ගැන මම පස්සේ ලියන්නම්

අදින් පස්සේ නිවාඩු කාලේ

ඕ ලෙවල් කියන්නේ මහා වාතයක්. අන්න එහෙමයි ඒ කාලේ හිතුනේ. හුස්ම ගන්න බැරි තරම් සබ්ජෙක්ට් එක්ක ඕ ලෙවල් ඉවර උනා. හිතට නිකන් A/C දාලා වගේ. දැනෙන සැහැල්ලුව නම්... අම්මේ.... කොහොමහරි අවුරුදු තුනක් එක ඉඳලා වෙන් වෙනකොට පන්තියටම දැනුනු දුක අපිටත් දැනුනා. මමයි අරොයි නම් හැම වෙලේම හම්බ වෙනවා. මොකද අරෝ හිටියේ අපේ ගෙවල් වලට කිට්ටුව. ඒත් අනිත් කට්ටිය හම්බ වෙන්නේ නෑනෙ. ගොඩාක්ම දුක අර එකට එකා වගේ හිටපු අපිට නිවාඩු හම්බ උන එක. නිවාඩුව ඒ තරම් ගතියක් නෑ කියලා තෙරුනේ නිවාස අඩස්සියට පත් උනාට පස්සේ. අරො යි මම යි නගර සභාවේ ලඛ්‍රියට බැදුනේ මේ පාළුව ඉවසන්නම බැරි තැන. කොහොම හරි ඕ ලෙවල් ඉවර උනාට ඒ ලෙවල් ඔන් ද වේ නෙ ඒත් ගානක් තිබ්බේ නෑ.
අපි සතියකට සැරයක් ලයිඛ්‍රි ගියා. ඒ අතරතුර අරෝ අපේ ගෙදර ආවා. මම අරොලාගෙ ගෙදර ගියා. ඔය අතර අපේ පන්තියේ තව ෆිට් කට්ටියකුත් අපිත් එක්ක සෙට් උනා කල්ලිය වැඩි උනා හැබැයි හම්බ වෙන්න චාන්ස් එක තමයි සීමා උනේ.
අපි දවසක් කතා කරගෙන නුගේගොඩට සෙට් වෙලා අර අලුතෙන් එකතු උන යාලුඑක්ගේ ගෙදර යන්න කතා කර ගත්තා. අපි කිව්වේ. මමයි, අරොයි, සුමයි, ගයේ යි( ගයේෂි), අනික් එක්කෙනා සුදා( සුදර්ශි) අපි යන්න යොදා ගත්තේ අලුතෙන් හම්බ උන සාරංගා ගෙ ගෙදර. එයාලගෙ ගෙදර තිබුනේ නම් ටිකක් දුර. ඉතිං උදෙන්ම කට්ටිය නුගේගොඩට සෙට් වෙන්න කතා කර ගත්තා. කොහෙ ගියත් මමයි අරොයි එකටනෙ අපි දෙන්නා ඉතිං එකට එකතු වෙලා නුගේගොඩට එන්න බස් එකට නැග්ගා... එච්චර සෙනඟක් නෑ.. මොකද ඒක ඉරිදා දවසක්. හැබැයි ඉඳගන්න ඉඩක් තිබ්බේ නෑ. හිටගෙන අපි යන අතරතුර අපි ලඟ සීට් වල ඉඳගෙන හිටපු දෙන්නෙක් බැස්සා... මාර ගේමක් දීලා අපි දෙන්න එක ලඟ එතන වාඩි උනා. ගේමක් දෙන්න උනේ අපි ලඟම හිටගෙන හිටපු කොල්ලෝ සෙට් එකක් එක්ක. කොහොම හරි අපි දිනුවානෙ... අපේ ආඩම්බරේ තව වැඩි උනා. ටික වෙලාවකින් එතන හිටගෙන හිටපු එකෙක් අහනවා..." නංගි මාස කීයද ?" කියලා. අපි අහුනේ නෑ වගේ හිටියා. ආයෙත් අහනවා" එච්චර පෙනුමක් නෑ... මාස දෙකක් තුනක් විතර ඇති නේ මචං " කියලා. අපි දෙන්නට තිබ්බේ මාර කුතුහලයක්. මම වගේ නෙවෙයි අරෝට උපතින්ම ඔරවන්න තිබ්බේ මාර හැකියාවක්. අරෝ එරෙව්වා එරවිල්ලක් පිච්චිලා යන්න. අරුංට ගානක් නෑ උන් කියනවා.. "නංගිලාට අමාරුද?.... අපි සප් එකක් දෙන්නම්.... " කියලා අපි දෙන්නට මේක නම් හතර බීරි කතාවක්. " බලපන්කො බං.... මොනා කියනවද මන්ද? මුළු බස් එකම අපි දිහා බලනවා" අරෝ ලැජ්ජාවෙන් මොනාද වෙලා මා දිහා බලනවා. "මේකනේ නංගි ඔය පොඩි වයසට ඕවා කර ගත්තාම ඔහොම තමයි" කොහොම හරි අපි දෙන්නා දැං නම් පිස්සු හැදිලා තවත් හැදිලා ඉන්නේ. කියන්න කරන්න කිසි දෙයක් නෑ. මුං කියන මගුලක් තේරෙන්නෙත් නෑ. මම තරහයි, ලැජ්ජාවයි ඉවස ගන්න බැරි තැන වට පිට උඩ පහල බැලුවා... මොකද බස් එකේ ගොඩක් උන් බලන් හිටියේ අපි දිහා නිසා. අපිට නෙවෙයි වගේ ඉන්නත් බෑ. මොකද මුං වට වෙලා ඉන්නේ අපි ලඟනේ. දෙයියනේ හම්බ උනා අපි මෙහෙම කිංඩියට පත් වෙන්න හේතුව... අපි පොරකාලා ඉඳගෙන තියෙන්නේ 'ගැබිණි මාතාවරුන්ට පමණයි ' බෝඩ් එක ගහපු සීට් එකේ. මම හිමිං සැරේ අරෝට පෙන්නුවා ඇස් දෙකෙන් උඩ බෝඩ් එක. අරෝ බකස් ගාලා හිනා උනා. මොකද අපේ මෝඩම මෝඩ කම නිසා. ටික වෙලාවකින් අපිට ඉස්සරහා සීට් එකෙ කට්ටියක් නැගිට්ටා. අර අපිට වදේ දාපු සෙට් එකෙන් දෙන්නෙක් පැනලා එතන වාඩි උනා. අරෝ ආයෙත් හිනා උනා.... "පව් වැඩේ ආබාදිතයෝ ටිකක් මේ හිටගෙන ඉඳලා තියෙන්නෙ" කියලා අරෝ අඟට පතට නොදැනී කියලා දැම්මා. දැං ඉතිං අපිටද නෝන්ඩි. හිටගෙන හිටපු උන් ඉඳගත්ත දෙන්නට අම්බානකට බනිනවා නම් අපිට අහුනා. අපි ඉතිං වැඩි වෙලා හිටියේ නෑ බහින්න හෝල්ට් එක ආව වෙලාවෙ බැස්සා..... හැබැයි දැං නම් මොන අමාරුව තිබ්බත් බස් එකේ වාඩි වෙන්නේ බෝඩ් බලලා. වාඩි උනත් පොර කාලා නම් ඉඳගන්නේ නෑ කියලා හිතා ගත්තා

ජපන් පංතියක් නිසා උන වැඩක් ගැන පස්සේ ලියන්නම්

ඉංග්‍රීසිය නම් මාරයි

ඉංග්‍රීසි කියන්නේ අපේ රටේ අපේ වගෙ කතා කරන භාෂාවක්නෙ. ඒක නැත්නම් රස්සවත් නෑ. ඕක තමයි ලංකාවේ ඉංග්‍රීසියට තියන තැන. ඕක ඒ කාලෙ ගානක් නෑ. සිංහල බොදු ඉස්කොලෙක ඉගෙන ගන අපිට මොන ඉංග්‍රීසිද? ඒ නිසා අපේ පන්තියේ ඉංග්‍රීසි පීරියඩ් එක අපි ගත කලේ ලයිඛ්‍රියේ... දෙයියන්ගේ පිහිටයි කියන්නේ ඉංග්‍රීසි මිස් කවදාවත් පන්තිය ඇයි හිස් කියලා ප්‍රශ්න කරලා නෑ. ඉන්න දෙතුන් දෙනාට පාඩම කරනවා.... ඒ නිසා අපිටත් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. සමහර විට මිස් දන්නේ නෑ අපි කොයි පංතියේද කියලා. අපි දන්නවානෙ ඒ අපෙ ඉංග්‍රීසි මිස් කියලා ඒ නිසා දැක්ක තැන අපි මිස්ට පනාව දානවා.. අනේ මිසුත් කට පුරා හිනා වෙනවා. දන්නවා නම් කන පුරා කන්න තිබුනා. හරි මම මේ කිව්වෙ අපේ ඉංග්‍රීසි අධ්‍යාපන තත්වය ගැන. කොහොම හරි අපි ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එහා පංතියේ ඉංග්‍රීසි මිස්ගෙන්.
අපේ පන්තියේ මිස් කෙනෙක් නෑ කියන්නේ පිටකොටුවේ මැනිං මාර්කට් එක වගේ.... කෑ ගහනවා සිංදු කියනවා. එහා පංතියට තියා පාරෙ යන මිනිහෙකුටවත් කනක් ඇහෙන්න නෑ. අපි හිතන්නේ අපි සීලාචාරයි කියලා මොකද මිස් කෙනෙක් නැති හැම වෙලාවකම අපි වැඩිපුර හිටියේ හිටගෙන. මොකද එහා පංතියේ නැතත් ඊටත් එහා පන්තියේ මිස් හරි අවිල්ල අපිව හිටවනවා. වෙන පංති වල ඉගැන්නුවට අපේ පන්තියේ හැම ලමයෙක්ගෙ මූණු එයාලාට හොඳට මතකයි. කොහොමහරි එදත් එහා පන්තියේ ඉංග්‍රීසි උගන්නනවා... අපි අපේ පංතියේ කෑ ගහනවා... කෑ ගහනවා කියලා අපිට මතකයක් නෑ. මුලින්ම එහා පංතියේ මිස් ආවා.... "What are you doing ahaa... why are you shouting " කියලා ඇහුවා... අපි ඉතිං නොතේරුනත් තේරුනා වගේ කටවල් වහ ගත්තා. " I have to work, So be silent" අන්න එහෙමත් කිව්වා. ඒකත් තේරෙන එකක්යෑ.... අපි හරි හොඳ ළමයි වගේ මිස් එහා පංතියට යනකන් හිටියා... අයෙමත් සද්දේ වැඩි උනා. ආයේමත් පෙර සේම සද්දේ... එහා පන්තියේ මිස් අයේ ආව.. මල පැනලා... " I told you to shut up ur mouths.... stand up and wait" stand up කියන එක තේරෙනවා මොකද වැඩිපුරම අපි අහල තියන ඉංග්‍රීසි වචනේ ඒකනෙ. අපි හිටගෙන ඉන්නවා දැං. මිස් අපිව හිටෝලා තියලා අයේ එහා පංතියට ගියා. දැන් අපි හිටගෙන කෑ ගහන්න පටන් ගත්තා. එතකොට අර ඉදගෙන කෑ ගහනවට වඩා සද්දයි. එහා පංතියේ මිස් අයේ අපේ පංතියට ආවේ තරහින් රතු වෙලා. " I don't know what type of children you are..... Kneel down you all" මාර සැරෙන් කිව්වා... පංතියම ගල් ගැහිලා ඒ මොනාද කරන්න කිව්වේ කියලා. කවදාවත් කරන්න කියපු එකක් නෙවෙයි ඒක. පංතියේ එහා කොනේ හිටපු එකෙක් මට ලං වෙලා අහනවා " මොකද්ද බං ඒ කිව්වේ නියපොතු කන්න කියලද?" ඌට Kneelද Nailද කියන එක පැටලිලා... කොහොම හරි අපේ පංතියේත් ඉන්නව හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න අය. හරි ආඩම්බරයි කියන්න එයාලා තමයි ගිහින් දණ ගැහුවේ..... Kneel down කියන්නේ දණ ගහන්න කියලා ඉගෙන ගත්තේ එදා තමයි. ඉතින් හැමදාම වගේ අපි දණ ගහගෙනත් කෑ ගහුවා....

ඕලෙවල් වලින් පස්සෙ උන දේවල් පස්සේ ලියන්නම්

බෝම්බයක් විය හැක

තවත් ගොඩාක් දේවල් එක්ක අවුරුදු දෙකක්ම ගෙවිල ගියා.... අපේ ලෝකෙ ආදරණියම කාලේ. ඒත් අවාසනවකට ඒ දවස් වල තිබුණේ බෝම්බ බිය. අපි පොත්, කෑම පෙට්ටි, බත් මුල් ඔක්කොම දාගෙන ආවෙ එහා මෙහා පෙනෙන බෑග් වල. බෝම්බයක් පිපිරුවොත් හැසිරෙන්න ඕනෙ විදිය හිටන් අපිට පුරුදු කෙරෙව්ව. අපිට මැරෙන්න නම් බයක් තිබ්බේ නෑ හැබැයි අරෙහෙට මෙහෙට දුවන්න, පන්සල් කටේ දාගෙන බිම දිගා වෙන්න පුරුදු කරද්දි නම් අනේ අපොයි කියල හිතුනා.... කොහොමහරි මැරෙන්න අපිට වඩා බය වෙලා හිටියේ මිස් ලා. එක දවසක් අපි වැඩ කර කරා ඉන්නකොට අර බෝම්බ බෙල් එක වැදුනා.. පුහුණුවේ හැටියට නම් අපි පන්තිවලින් දුවගෙන දුවගෙන ගිහින් බුල්ඩින්ග් නැති පිට්ටනියට රොක් වෙන්න ඕනෙ. ඉතිං ඒ විදියට අපි පිට්ටනියේ ඉන්නවා බෝම්බෙ පුපුරනකන් බලගෙන, බිම දිගා වෙන්න..... ජොලියකුත් තිබුනෙ නැත්තෙම නෑ. සමහරු එතනත් කෑම කනවා. මොකොද මලොත් බඩගින්නේ නෙ කියලා. සමහරු සින්දු කියනවා. මරන බය නැති කර ගන්න. අපිත් ඉතිං මොනා හරි කරන්න ඕනෙනෙ. අපිත් කලපනා කලා හොඳ වැඩක් කරන්න. අපිට එහා පැත්තේ හිටපු මිස්ලා නියපොතු කනවා බත් කනවා වගේ. ඇත්ත එයාල බය එක සාදරණයි. මොකද අපිට වගේ සැහැල්ලුවක් එයලගෙ හිතට නෑ නෙ. ඒත් මොනා කරන්නද? අපිට ආස හිතුනා එයලගේ පුහුණුව හොද්ද කියල අත් හදා බලන්න. සුමා( සුමිතා). වැටිලා තිබුණු ෂොපිං බෑග් එකක් අරන් හුලං පුරෝලා ඩෝං ගාල පිපිරෙව්වා.... බලන්න ලස්සනයි. මිස්ලා රංචුවක් පැනසල් කටේ ගහගෙන බිම දිගාවෙලා. අපිට මැරෙන්න හිනා ඒත් හිනා උනොත් වැඩේ මාට්ටුනෙ. ඒ නිසා අපිත් බය වෙලා වගේ ඇක්ටින් පාරක් දැම්ම. ටික වෙලාවකට පස්සේ මිස්ලා සාරි වල මඩ ගස ගසා නැගිට්ටා. පව් වැඩේ තමයි. හැබැයි එයාල අපිට වඩා හොඳට පුහුණු වීම කරලා තිබ්බා. ...
කොහොමහරි ඒ දවසත් නූලෙන් ඔන්න මෙන්න බේරුනා... ඒත් බෝම්බ පිපිරුණේ නෑ.... හැබැයි අර බය නම් එහෙමම තිබ්බා. දන්නවද අපේ වාසනවට අපේ පනතිය තිබුනේ මහ පාරට මූන දාලා. ඉතිං නුගේගොඩ තියන ඉස්කොල වල කොල්ලෝ අපේ පන්තියට කොල බෝල වල මරු මරු ඒවා ලියලා එවනවා ජනේල්ලෙන්. මරු සීන් එක තමයි. මිස්ලා කවුරුත් නැත්නම් අපිත් උත්තර යවනවා... විනය කමිටුවට එහෙම අහු උනොත් සොරිම තමයි ඒත් ඔය වැඩේ අපි හොදට කරගෙන ආවා. බෝම්බ උඩින් දායිද? බිමින් එවයිද? පාර්සල් කරලා එවයිද කියලා ෂුවර් නැති මේ කාලෙත් අපිත් උඩින් කොල බෝල එනවට ආස කලා. එක දවසක් අපේ බුද්ධාගම මිස් පන්තියට ඇවිල්ලා. අනිත්‍යය ගැන ගොඩාක් හොද පාඩමක් කරමින් හිටියා. " දැං බලන්න ළමයි.. අපි ගෙදරින් එනවා.. ඒත් ගෙදර යයිද දන්නේ නෑ, ඒකයි ජීවිතේ අනිත්‍යය කියන්නේ.... මම නම් මැරෙන්න බය නෑ. මම ගොඩාක් පිං කරපු කෙනෙක්. මගෙ ජීවිතෙට තියන ආසාව මම ගොඩාක් දුරට අයින් කරල තියෙන්නෙ" කියල කියනකොටම අර අපි බලාපොරොත්තුවෙන් හිටපු කොල බොලයක් අහසින් පාත් උනා... අහසින් කිව්වට ජනෙල්ලෙන්. මිස් අනිත්‍යය කෙසෙ වෙතත් සාරියත් උස්සගෙන පුටුව උඩට නැග්ගා "අනේ මෙන්න අත් බෝම්බයක්ද කොහෙද". අපි දැනගත්තා මේක අත් බෝම්බයක් වෙන්නෙ මිස් මේක අරං කියවල බැලුවොත් කියලා. පිටිපස්සේ හිටපු පන්තියේ ෆිට් එකක් නැගිටලා කිව්ව." මිස් මමයි එව්වේ.. කුණු බල්දියට... ඒත් වරදිලා ඔතට වැටුනා කියල" ෂේප් එකෙ කොලේ ඇහිඳගෙන ගියා.... මිස් පුටුවෙන් බැහැලා කියනවා... "මම බය උනේ මේ අහිංසක ළමයි ගැන හිතලා" කියලා. ඒත් අපි බලාපොරොත්තු උන තරම් දෙයක් එතන උනේ නෑ. එතනදිත් යාන්තම් බේරුණා....

ඉංග්‍රීසි නිසා වෙච්ච වැඩ ගැන මම පස්සේ ලියන්නම්

ගණන් තමයි මගෙ හිතට වදේ.....

අපේ කල්ලිය කිව්වට අපි දෙන්නට එකතු උනේ තව තුන් දෙනෙක් විතරයි. හරිම අහිංසක විදියට අපි අතරේ යාලු කම වැඩි වෙමින් තිබුණා... සුමිතා, සුදර්ශි වගේම ගයේෂි අපේ කල්ලියේ අළුත් කට්ටිය. හැම වෙලේම එයාල හිටියේ අපි දෙන්නට පිටිපස්සේ පේළියේ.මාරයි කියන්නේ කෑම එහෙම පාස් උනේ මේස යටින්. ගොඩාක්ම මරු සුමිතා තමයි. ඒ තුන් දෙනාගෙන්ම එක විදියකට ඉන්න බැරි කෙනා එයා. මගේ ගනයට හරියටම හරි. ඒත් සුදර්ශි අනිත් දෙන්නටම වඩා හරිම අමුතුයි. ඉගෙන ගන්නමයි හිත. ඕකනේ අපිට නැත්තේ. අපිටත් බැනලා එයා සුමිතාවයි ගයේෂිවයී එයාට අවනත කර ගන්නවා. මම හිතුවේ එයට ඒ දෙන්න බයයි කියලා. බොරු කියන්න ඕනෙ නෑ මමත් බයයි. මමයි සුමිතයි තමයි සුදර්ෂිගෙන් ගොඩාක්ම බැනුම් ඈහුවේ. සුදා සයිස් එකෙන් නම් මාර පොඩියි ඒත් කටින් නම් මාර ලොකුයි. මට එයා ගැන පව් කියලත් හිතනවා. ඉගෙන ගන්න උණක් තියන කෙනෙක්ට අපි වගේ පාප මිතුරෝ හම්බ උන එක ගැන. පන්තිය වාර දෙකක් වගේ යද්දි මාර විදිය ෆිට් එකක් තිබ්බා. ඉතිං ඔය ෆිට් පන්තියේ ෆිට් ගණන් මිස් කෙනෙක් තමයි හිටියේ. ගණන් කියන්නේ ඉලක්කං උනාට මට මහ එපාම කරපු සබ්ජෙක්ට් එක. ඒක තමයි දැනුත් දෙකයි දෙකයි හතරයි කියලා කැල් එකෙන් හදලා උත්තරෙ කියන්නේ. ගණන් මිස් කරන්නේත් අච්චු පොතේ තියන නිදසුන එහෙම් පිටින්ම කොපි කරලා කළු ලෑල්ලේ පේස්ට් කරන එක. අපි කරන්නෙ පොත අතේ තිබ්බත් මෝඩ කමට කළු ලෑල්ල දිහා බලාගෙන ඒක කොපි කරන එක. මම හිතුවේ මම විතරයි කියලා මෝඩ, ඒත් බලාගෙන ගියාම පංතියම එහෙමයි. කළු ලෑල්ල දිහා බලාගෙන කොපි කරන එක සෑහෙන්න වදයක් උනේ මට මොකද දන්නවද? සුදර්ශි හිටියේ මට පිටිපස්සේ නිසා. මම කිව්වනේ එයා සයිස් එකෙන් පොඩි කියලා. එයා බෝඩ් එක බලන්න කලේ එකම දෙයයි. මේ අනේ එහාට වෙයංකෝ... කියල මට අනිනවා. මම එහාට වෙලා ඇද වෙලා බෝඩ් එක බලාගෙන ලියනවා. ටිකකින් ආයේ.. අනේ මේහාට වෙයං දැං...... ආයේ අනිනවා... මම අනිත් පැත්තට ඇද වෙලා ලියනවා. ඊ ළඟට. දැං පාත් වෙයං පේන්නෙ නෑ බං... ආයේ අනිනවා... දැං මම කුදු වෙලා ලියනවා..... ඔය විදියට මම හැම උදෑසනකම එක්ස්සර්සයිස් කරනවා. බැරිම තැන අපි පේලි මාරු කලා. මගේ දුක බලාගෙන ඉන්න බැරි කමට අරෝ ම තමයි යෝජනා කලේ. මම ගොඩාක් සතුටින් එයාලගෙ පේලිය පිටිපස්සට ගියේ මගේ ඒරෂටකේ ඉවරයි කියලා හිතාගෙන. ඒත් එහෙම වෙලා අපිට ඉන්න හම්බ උනේ පැය තුනයි. මම කටේ වතුර තියාගෙන හිනා වෙන්න ට්‍රයි එකක් දුන්න අනේ දෙයියනෙ එහෙම වෙලා මගේ වතුර ඔක්කොම ගියෙ සුදර්ෂිගේ පිට හරහා..... ආයෙත් මට උනේ එයාගෙ ඉස්සරහට යන්න. අවුරුදු තුනක්ම උදේ එක්ස්සර්සයිස් කරන්න හිත හදාගෙන

තවත් ගොඩාක් දෙවල් එක්ක මම ප්ස්සේ ලියන්නම්...

සිංහ වංශය

9 වසර කියන්නේ හිරිමල් වයස.... අර අට්ටෙන් පොත්තෙන් තේරෙන වයස. වයසින් නැතත් හිතෙන් මහ ලොකුයි කියල හිතන වයස. ඔය කාලෙ තමයි ජීවිතේ එක එක පරීක්ෂණ.... නිරීක්ෂණ.... නිගමන කරන්න බලන්නේ. අත්දැකීම් එකතු කරන අමුතු අමුතු සොයාගැනීම් කරන්නේ. අනේ මන්ද මේ කාලේ සොයා ගත්ත සොයාගැනීම් හැන හිතනකොටත් හිනා යනවා.ඔන්න හැමෝම වගේ අපිත් ජීවිතේ සොයන්න පටන් ගත්තා. පටන් ගැන්ම උනේ මෙච්චර කාලයක් කතා කරපු භාෂාව වෙනස් කරපු එක. පොඩි පංති වල(මේ දැං ලොකුයි කියනවා නෙවෙයි, ඒත් හිතන් ඉන්නේ එහෙමනේ) අපි එකිනෙකාට කතා කලේ ඔයා, එන්න, කන්න, යන්න, ගන්න.. වගෙ හරිම පිරිසිදු වචන වලින් ඒත් දැං අපි පටන් ගත්තා අලුත් වාග් ශෛලීයක්. උඹ, වරෙං, ගනිං, කාපං, පලයං. මොනා කරන්නද මේවා තමයි සොයා ගැනීම්. මටත් අපේ පංතියේ හීනයක් තිබ්බා අනිත් එවුන්ට වගේ කල්ලි ගැහෙන්න. මේ වෙනකොටත් අපේ පංතියේ කල්ලි ගොඩාක් හිටියා. බලන්න ආසාවේ බෑ. එකට කනව.. කෑ ගහනවා. හැමදේම එකටමයි. ඔය කල්ලි කෙරුවාව අත් හදා බලන්න මට තිබ්බේ මාර උණක්. ඒත් මගේ කල්ලියේ හිටියේ මමයි අරෝෂයි විතරයි( ඒ මගේ යාලුවා, අර ෆිට් එක). මම කීප සැරයක්ම අරෝෂාට කිව්වා ඒත් එයාගේ උනන්දුවක් තිබ්බේ නෑ. එයාට ඕනෙ වෙලා තිබ්බේ පංතියේ අර වැඩ කරු ගනේට වැටෙන්න. ඒත් මට ඕනෙ වෙලා තිබ්බේ යාලුවෝ ගොඩාක්. ඔන්න ඒ ගැන කනස්සල්ලේන් හිත් වේදනාවෙන් ඉන්නකොට සිංහල මිස් පංතියට ආවා. පීරියඩ්ස් දෙකක සිංහල පටන් ගන්න. පංතියේ එක එක්කෙනා කියවනවා. අපි අහන් ඉන්නවා. මිස් කියල දෙනවා... දිගටම ඔය රෝල තමයි යන්නේ. විනඩි දහයක් එක තැනක එක විදියකට ඉන්න බැරි මට, පැය එකාමරක් සිංහල පාඩම අහං ඉන්න එක මරනවා වගේ. ඒත් අමාරුවෙන් එහෙට මෙහෙට කැරකි කැරකි කල් මැරුවා... තාම ඉවරයක් නෑ දිගටම යනවා.... අරෝෂාට මම මිස් විදියට රඟපාල පෙන්නවා එයා හිනා වෙනවා... ඒත් මිස්ට පේන්නේ නැති වෙන්න... ඔහොම මගේ පාඩමත් ගානට ඇදගෙන යද්දි එක පාරට පංතිය දෙවනත් වෙන්න මිස් බෙරිහන් දුන්නා.... " ඔය පිටිපස්සේ පේළියේ මැද ඉන්න ළමයා නැඟිටිනවා...."...... මරේ මරු... පාඩම ඉවරයි දැං තමයි ජොලි මම පිටිපස්ස හැරිලා බැලුවා... මගෙ ඔලුවේ ඉඳං කකුල් දෙකටම සීතල උනා... පිටිපස්සේ පේලියේ මැද ඉඳලා තියෙන්නෙ මම.... මම නැගිට්ටා නෙවෙයි හිට ගැනුනා.... මිස් බනින්න පටන් ගත්තා... නොකිව්ව දෙයක් නෑ ඔක්කොම කියලා බැන්නා... මගේ ඇස් වලින් කඳුලු සට සට ගාල වටෙනවා... මතක ඇති කාලෙක අම්මගෙන් අරෙන්න බැනුම් අහනවාමයි.... මිස් බනිනවා... පංතියේ අය කන්න වගේ බලන් ඉන්නවා, මම අඬනවා.... ඔහොම තව පීරියඩ් එකක්ම ගියා.... බෙල් එකත් ටාං ටාං ගාලා වඳිනවා අහුනා. මිස් බැන බැනාම නැගිට්ටා... අනිතිමට මගේ මටවත් කීකරු නැති කොණ්ඩෙ දිහා බලලා බැනිල්ල ඉවර කලා..."හැටි විතරක් සිංහ පැටියා වගේ.." මිස් පංතියෙන් එළියට ගියා. මම හෝ ගාලා අඬනවා... මාව සනසන්න පංතියම වට වෙලා... ඔය අතර මගේ හීනෙත් හැබෑ උනා. කල්ලි සංස්කෘතිය. පංතියේ වැඩකරුවෝ වගේ හිටපු දෙතුන් දෙනෙක් මගේ සිංහ කොණ්ඩෙට පිං සිද්ද වෙන්න අපි දන්නත් එක්ක ෆිට් උනා. ඒත් මගේ කාඩ් එක සිංහ පැටියා... පංතියටම ඇහෙන්න මට කියන්න පුළුවං උනා මම සිංහ වංශයේ ..... ඔබ???? කියලා.

අපේ කල්ලියේ වැඩ ගැන මම පස්සේ ලියන්නම්

අප පාසල් ගිය කාලයේ.....

ජීවිතය බරයි වියදම සැරයි අපි කාටත් එහෙමයි.... රේඩියෝ එකේ නිතරම ගිය වචන පේළියක්. ජීවිතේ බරකුත් නැති වියදම ගැන ගානකුත් නැති කාලයක් අපි ලඟම තිබුණා. ඒ ඉස්කෝලෙ කාලේ. හැම දේටම තිබුණේ එක තාලයයි. හැම කෙනාටම තිබ්බේ එක හීනයයි. අපූරුම අපූරු අත්දැකීම් ගොඩක් එක්ක අවුරුදු 13ක්ම ජීවත් උනේ එතන. සුදුම සුදු නිල ඇදුම දුප්පත්ද පෝසත්ද කියල හොයාගන්න ඉඩ තිබ්බේ නෑ. ඒ කාලේ මූ දුප්පතා.. මූ පෝසතා කියලා හංවඩු ගහන්න උවමනාවක් තිබ්බේ නෑ. මොකා උනත් එකට වැටිලා මිස් පාඩම කරද්දි මේස යටින් ඉදන් කන්න නම් පුරුදු වෙලා හිටියා.
උදේ ඉදං ඉන්ටවල් එක වෙනකන් කනවා. අන්තිමට ඉන්ටවල් එකට කන්න දෙයක් නෑ. කාගෙ හරි බත් එකක්ට සෙට් වෙනවා.... ඕක තමයි ජීවිතේ. ඔය කාලේ හොඳම යාලුවො කියල කොටසක් ඉන්නවා.. යාළුවෝ කියල තවත් කොටසක් ඉන්නවා... ඒ කාලේ හොඳම යාළුවා කිව්වේ පන්තියේ හිටිය එකට වල බහින්න කැමතිම එකාට. අපේ වචනේන් කියනවා නම් බුදු ෆිට් එක. මටත් හිටියා බුදු ෆිට් එකක් පොඩි පොඩි පන්තිවල් ඉඳලා ඉඳලා අපි ඕලෙවල් කරන්නත් එකම පන්තියට සෙට් උනා. සමහරු ෆිට් එක වෙන පන්තියකට ගියා කියල හොටු පෙරාගෙන අඬද්දි මම මාර විදියට සතුටු උනා. අපි දෙන්නා එක පංතියේ... මරේ මරු මට හිතුනේ එහෙමයි. එයාත් එහෙම හිතෙන්න ඇති. නැද්ද දන්නෙ නෑ. එයාට නොදකිං මේ සැරෙත් මම මේකි එක්කනෙ. එක අවුරද්දක් නෙවෙයි අවුරුදු තුනක්. කියලා හිතුවද දන්නේ නෑ. එයා මොනා හිතුවත් මම නම් බොක්කෙන්ම සතුටු උනා.


9 වසරදි උන දේවල් ..... පස්සේ ලියන්නම්