නියම මධුසමය....

රොමේෂ්ගෙ වෙඩිං එක තිබ්බේ තරු පහේ හෝටලේක. ඉස්කෝලෙ ඔක්කොම යාලූවන්ට ඉන්වට් කරලා තිබ්බා. ඒත් නැගලා යාමක් නෑ. ඔහේ යනවා. කන පැලෙන්න බෝරිං. ඒත් ඉතිං මොක්කොරන්නද? ඔක්කොමලා කනවා බොනවා. අරෙහෙ මෙහෙ යනවා සිරික්කිය දාගෙන ඔහොම තමයි. ඔය අතරේ චමතුයි නදීයි එකතු වෙලා සෑහෙන්න බරපතල වැඩක් කර කර හිටියේ " ශෙහා උඹට හොඳටම ෂුවර්ද අරූගෙ බෑග් එක කාර් එකේ තිබ්බා කියලා. " නදී අහනවා. " ඔව් ඔව් බං... මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා මල්ල කාර් එකට රිංගනවා...."චමත් එතනින් නැගිට්ටා "එහෙනම් වරෙං යන්න.. පරක්කු නැතුව" ඔන්න මුන් තුන් දෙනා අපිව මෙතන දාලා එළියට බැස්සා. " අරෝ කොහෙද බං අර යන්නේ" මගේ කට මටම අකීකරු උනා " දන්නේ නැද්ද? රොමේෂ්ගෙ හනි මූන් යන ඇඳුම් බෑග් එක මාරු කරන්න යන්නේ..." අරෝ හිනා වෙවී කිව්වා " ඉතිං මාරු කරලා?" මමත් ඉතිං තොත්ත බබානෙ ඒ කාලේ.... මට මෙලෝ හරුපයක් තේරෙන්නෙ නෑ. "මුන් ඌට ගෙනියන්න යට ඇඳුම් නැති බෑග් එකක් ලෑස්ති කරලා" අරෝ මගේ කනට ලං කරලා කිව්වා... " මට බකස් ගාල හිනා ගියා. " පව් බං" මට එහෙම කියවුනා. ඔන්න වැඩේ ගානට දීලා චමතුයි, නදීයි, ශෙහානුයි අපි ලඟට ඇවිත් වාඩි උනා. " කොහොමද වැඩේ...?" අරෝ කතා කලා " එළ එළ..." නදී හිනා වෙවී උත්තර දුන්නා. ඉතිං මුන් දැං පිටත් වෙන්නත් වෙලාව හරි යාගෙන ආවේ. රොමේෂ් පුරුද්දට වගේ අපි ලඟට ආවා." මට ඇඟට හරි නෑ... උඹලා ඔක්කොම හොඳට ගහලා.... මට විතරක් මොකුත් නෑ...." එහෙම තමයි බං මනමාලයා උනාම. " අනේ මන්දා... මූඩියක් දැක්කත් දැං හිත ඉල්ලනවා බං... කොහෙද පාන්දර ඉදං මේ ඉලව්වට නැහෙනවා.... " රොමේෂ් අපි ලඟට වෙලා අඬන්නේ හරි පොඩි එකෙක් අම්ම ලඟට වෙලා අඬනවා වගේ " ඒක නෙවෙයි මල්ලි... උඹට ඕනෙ හැම දෙයක්ම බෑග් එකට දාගත්තා නේද? නුවර එළියනේ ගමන" ශෙහාන් වැඩේ කන්න හදන නිසා අනිත් ඔක්කොම ඌව කන්න වගේ බලාගෙන හිට්යා. " ආයෙ අහලා... අපේ අම්මා තමයි පැක් කලේ..." අනේ පව් දැං ඉතිං නැති වෙලා තියන හැම දේටම වැරදි කාරයා වෙන්නේ රොමේෂ්ගෙ අහිංසක අම්මා.... " එහෙනම් මචං උඹ හෙට පාන්දරම උඹලෑ අම්මට කෝල් එකක් දීලා සෑහෙන්න අම්මාව මතක් කරයි නේ" නදීගේ කතාවට රොමේෂ්ගේ මූන අර නරක කතාවක් කියද්දි එනවා වගේ හැදීගෙන ආවා. " ඇයි බං.... දන්නෙනැති නිසා අහන්නේ.. උදේට එච්චරටම අමාරුද?" නදීට කට උත්තර නැති උනා. බයිට් කලේ කාවවත්, බයිට් උනේ කවුරුවත්.
ඔන්න ඔක්කොමලාගෙන්ම ආශිර්වාදය මැද ඒ දෙන්නා හනි මූන් එකට නුවර එළිය බලා පිටත් උනා. අපිත් කාපු බීපු තැන් වල ලගින්නේ නැතුව ගෙදර ආවා. එන අතරතුර රොමේෂ්ගෙන් කෝල් එකක්. " ඈ යකෝ මගෙ හොඳ වෙලාවට මම බෑග් එක ඇරියේ... තොපි මගේ බෑග් එක ගෙනල්ලා දීපල්ලා හොඳ හිතිං. " අරෙහෙ ඉඳං කෑ ගහනවා. අපි ඔක්කොටම හිනා. ඉතිං අර අහන්න බැරි තරම් හරුපත් ඒ අස්සේ පිට වෙනවා. තරහට නෙවෙයි ජොලියට. කොහොමහරි. හවසම නදියි, චමතුයි රොමේෂ්ගේ ඇදුම් බෑග් එක ගිහින් දෙන්න ගියා. ඇත්තම කියනවා නම් එතන නැති වෙලා තිබ්බේ යට ඇඳුම් නෙවෙයි. ඒකෙ පිරිලා තිබිලා තියෙන්නේ යට ඇදුම් වලින් විතරයි.

ජීවිතේ හැටි

අරෝලගෙ වෙඩිං එක වැඩිහිටියෝ නැතත් අපේ සහභාගිත්වයෙන් හොඳට කෙරුණා. අරෝයි නදියි අපිට සමු දීලා අර මංගල දිවියට පිවිසුනා. ඒත් එහෙම උනාට උන් දෙන්නටම ජීවත් වෙන්න රස්සාවක් තිබ්බේ නෑ. නදී කැම්පස් එකේ තාම ඉගෙන ගන්නවා.උන් දෙන්නට එකට ඉන්නවත් තැනක් තිබ්බේ නෑ. ඒත් ඒවා ගැන උන්ටවත් අපිටවත් ගානක් තිබ්බේ නෑ. ඔක්කොම ඉවර උනාට පස්සේ චමත් උන් දෙන්නාගෙ අම්මලා තාත්තාලාට දන්නලා අම්බානකට අහ ගත්තා. ඊටත් වඩා චාටර් උනේ අරෝලගෙ ගෙදරින් නදීලාගෙ ගෙදර ගිහින් වංසෙ කබල් ගාලා ඒ කට්ටි දෙක වලි දාගෙන නදීටත් එයාලගෙ ගෙදර දොරවල් වැහුණු එක. දැං අපේ වචනෙන් කිව්වොත් උන් දෙන්නා හනි මූන් එකෙන් පස්සේ අනාථ නාථ වෙලා. අර නැව ගිලුණත් බෑන් චූන් වගේ ඒ ගැන උන් දෙන්නට ගානක් තිබ්බේ නෑ. අපිට ටිකක් උන් දෙන්න ගැන බයක් වගේ ආවා. මොකද නදී ඉගෙන ගන්න එක නවත්තලා දායි කියලා.මොනවා උනත් උන් දෙන්නගෙ අනාගතේ ප්ලෑන් කරන්න අපේ ගෙදරට රැස් වෙලා හිටියා. ඒත් හැමදාම වගේ ශෙහාන්ටයිම් රොමේෂ්ටයි හොඳටම වැඩි වෙලා තිබූනේ. කරටි කඩාගෙන කබරයා එක්ක තමයි හිටියේ. චමත් ඉතිං කියන්න පටන් ගත්තා.." නදීට රස්සාවක් නෑ.... ඉගෙන ගන්නත් ඕනෙ.. දැං පවුලක් ගෙනියන්නත් ඕනෙ.... අපිට උපරිම සප් එක දෙන්න වෙනවා" චමත් ඉතිං ඕක කිව්වේ සෑහෙන කාලෙකට පස්සේ ෆුල් සීරියස් " ඒක හරි.." රොමේෂ් කතා කලා " උඹ නදී බලාගනිං .. මම අරෝ බලාගන්නං" මටයි සෙනූටයි මාර ජොලි. " එහෙම කියන්න එපා රොමා.... අපි රොටේෂන් එකක් දාමු... මම දවසක් අරෝ බලාගන්නං උඹ එදාට නදී බලා ගනිං... අනිත් දවසේ මම නදී බලාගන්නං උඹ අරෝව බලා ගනිං." ශෙහාන් කියාගෙන කියාගෙන යනවා. " චමත් ටික වෙලාවක් හිටියේ තරහ ගිය හින්දා වෙන්න ඇති. මොකද වැඩක් පිලිවෙලකට කරන්න බෑ මුන් දෙන්නා කරටි කඩාගෙනනේ.... " මට තේරෙන්නේ නෑ උඹලා මොන බයිලා ගහනවද කියලා... යකෝ මුන් දෙන්නාව අපිට බලාගන්න වෙනවා..." චමත් ආයෙත් හැදුවේ මේ දෙන්නාව කතාවට සම්බන්ද කර ගන්න. " ඒක හරි වැරදි චමත්... බලපං අපි කොහොමද හිතකින් උඹට දෙන්නවම දීලා උඩ බලාගෙන ඉන්නේ" චමත්ට මල පැන්නා.... මම මුළු ජීවිත කාලෙටම ඒ චමත්ට මල පනිනවා දැක්කාමයි. චමත් රොමේෂ්ව කොලර් එකෙන් ඇඳලා ගත්තා... අපිත් එකතු වෙලා කොහොම හරි වැඩේ සමතයකට පත් කලා. රොමේෂ්ට ඒත් ගානක් නෑ ඌ කියවනවා. ගොඩාක් අමාරුවෙන් අපි රොමේෂ්ගෙ දත් ටික බේර ගත්තේ.... මට ලොකු බයක් ඇති උනා එදා... අනේ අපේ යාලූ කමට නරකක් වෙයිද කියලා. ඒත් පස්සෙයි දැන ගත්තේ මේ මෙහෙම උන පලවෙනි වතාව නෙවෙයි කියලා. අර මාලූවා නහින්නේ කට හින්දා වගේ රොමේෂ්ගෙ දත් කවදා හරි නැති වෙන්නෙත් නොන්ස්ටොප් කතාව නිසා. නදීගෙ ඉගනීම ඉවර වෙනකම් එයාලගේ වගකීම් වියදම් හැම දෙයක්ම අපි එකතු වෙලා කරන්න තීරණය කලා. නදීයත් නිකන් හිටියේ නෑ. එයා කැම්පස් යන ගමන් ඒලෙවල් කරන නංගිලා මල්ලිලාට ක්ලාස් කරන්න ගත්තා.. ජීවත් වෙන්න. ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි. ඒ තරම් ඒක හිතට දැනුනේ නදීයි, අරෝයි ජීවත් වෙන්න වින්ද දුක දැකලා.

රොමේෂ්ගේ වෙඩිං එක ගැන මම පස්සේ ලියන්නම්

මංගල තෑග්ග

ප්ලෑන් එකේ හැටියට අමාරුම වැඩේ පැවරිල තිබ්බේ මට. අපේ අම්මා නම් අපිට දුන්නේ මාර සපෝට් එකක්. කොහොම හරි මට අරෝව ගෙදරින් පන්න ගන්න ඕනෙ උනා.... ඒත් කිසිම විදියකින් අරෝට අරෝලාගෙ ගෙදරින් එළියට බහින්න විදියක් තිබ්බේ නෑ. අනේ මම හැමවෙලේම කල්පනා කලේ හොඳ හේතුවක් අරෝව ගෙදරින් අරං එන්න. මට අරෝගෙ අම්මාගෙ විශ්වාසෙ කඩා ගන්න නම් තිබ්බේ දුකක්, එයා මටත් අම්මා කෙනෙක් වගේ ඒත් මගේ හොඳම යාලුවාගෙ ඇස් වල කඳුලු සදහටම නැති කරලා දාන්න මට ඒ කැප කිරීම කරන්න උනා. අපේ ගෙදර හැම අවුරුද්දකම දෙන දානෙත් ලඟ ලඟම එන නිසා මම අන්තිම තුරුම්පුව විදියට දානෙ ගැන කියලා අරෝව ගෙදරින් එළියට ගත්තා. අරෝගෙ වාසනවට එයා මුරකාවල් නැතුව ගෙදරින් එළියට අඩිය තිබ්බා. මේ වනකොට අපේ ගැන්සියම දැනගෙන හිටියා අරෝ පෙබරවාරි 17 වෙනිදා නිදහස් වන බව ඒ නිසා ලහි ලහියේ හැම දේම සූදානම් කලා. මරුම වැඩේ කියන්නේ මම තමයි අරෝගෙ හැට්ටේ මිම්ම හිටන් මැනගෙන ගියේ. අපි ඔක්කොමලගේම වියදමින් වැඩේ ලස්සනට කරගෙන ගියා. පෙබරවාරි 17 ආවා. අරෝව මම අරං එන්න එයාලාගේ ගෙදර ගියා. ඒත් හිතට එකඟව එයාලගෙ අම්මාගේ මුණ බලන්න මට බැරි උනා. අර හොර වැඩක් කරද්දී දැනෙන බය මටත් ඇවිල්ලා. අරෝ තව එක ඇඳුමකුත් බෑග් එකේ දාගෙන අම්මේ මම ගිහිං එන්නම් කියලා වැන්දා. මට ඒ වෙලාවෙ නම් පපුව පලාගෙන යන්න එනවා වගේ දැනුනා. ඒත් ඉවසන දනා රුපුනුදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. මම ඉවසීමයි කඳුළු ටැප් එකයි ඛ්‍රේක් ගහගෙන හිටියා. හදිස්සියේ හරි මගේ ටැප් එක ඇරියානම් ඔක්කොම මාට්ටු. අරෝ හිත යටින් සතුටු උණත් තමන්ගේ අයව දාල යද්දී දැනෙන දුකෙන් මිරිකිලා හිටියේ. මට මෙහෙම නම් එයාට කොහොම දැනෙනවා ඇද්ද?. අපි දෙන්නා බස් එකේ යන්න පිටත් වෙන බව ඇඟෙව්වට චමත් මඟට අවිල්ලා හිටියා. අරෝ චමත් එක්ක ඉන්න නදීව දැකල මූනේ මල් පුරෝ ගත්තා. දැං නම් මල් වත්තක් වගේ මූණ. ආදරේ කියන්නේ මොන තරං ලස්සන දෙයක්ද කියලා හිතෙනවා මැලවුණු මූනක් අයේ පිපිලා තියනව දැක්කාම. අපි හතර දෙනාම ගියේ අපේ ගෙදර. අරෝව ලස්සනට අන්ඳගෙන අපි පිටත් උනේ රෙජිස්ටාර් ගාවට. අපේ ඔක්කොමලා හිටියා ඒත් අපි කාගෙවත් වැඩිහිටියෝ එතන හිටියේ නෑ. වාක්‍ය පිට වාක්‍ය කියලා ඒ දෙන්න අර තඩි පොතේ අත්සන් කලා. ඒ දෙන්න නීතියෙන් එකතු උනා. ඒත් හවස අපි උන් දෙන්නාව පෝරුවක නග්ගලා බන්දන්න වැඩ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. ඒ අතර සෙනු අඬන්න පටන් ගත්තා... මොකටද දන්නවාද? නදී ඇත්තටම කසාද බැන්දා කියලා. පව් තමයි ඒත් ඒකිගේ තියන ගොන් කමට අපි මොනා කරන්නද.

අරෝලාගෙ වෙඩින් එකේදි වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්

ප්‍රේම තරඟේ...

සාමකාමි බව අස්සෙන් අපේ ආදරේ දිගටම අරගෙන යන්න ගත්තා. අපේ ගෙදරින් අපි දෙන්නාගෙ සම්බන්දෙට ආශිර්වාද කලා. චමත් උනත් අපේ ගෙදර ආවෙ ගියේ තමන්ගේ ගෙදර එනවා වගේ. අපි දෙන්නාට කිසිම බාදකයක් තිබ්බේ නෑ, එළම තමයි. අම්මා උනත් පුතෙක් නැති අපේ ගෙදර එයාව පුතෙක් කර ගත්තා. මටත් වඩා චමත් ආදරේ උනේ අපේ අම්මාට. හැම වෙලේම කිව්වේ ජූරිය ශේප් එකේ තියා ගත්තොත් නඩුව දිනිම් කියලා. ඒක ඇත්ත අම්මාව ෆිට් එකේ තියාගන්නකන් බඩුම තමයි. තාත්තා උනත් ජොලියට බරයිනෙ. ඒ නිසා කිසිම අවුලක් තිබ්බේ නෑ. ඒත් මේ හැම දේකම අනිත් පැත්ත සිද්ද උනේ අරෝට. අනේ දෙයියනේ එයානම් වින්ඳේ පුදුමාකර දුකක්. ඒ ඔක්කොම උනේ අම්මට තාත්තාට හොරෙන් නදීව හමබ වෙන්න ගිහින්. අරෝ මම වගේ නෙවෙයි. ලොකුම ලොකු සල්ලි කාරයෙක්ගෙ එකම දුව, ඒ විතරක් නෙවෙයි. එයා ගැන අම්මාලා තාත්තාලා බැලුවේ බිස්නස් ඇහින් විතරයි. තවත් ලොකු බිස්නස් කාරයෙකුට බන්දලා දෙන්න එයාලාට ඕනෙ උනා. හැම අම්මාකෙනෙක් ම ප්‍රාර්ථනා කරන තමන්ගෙ දරුවගේ සතුට තියෙන්නේ සල්ලි වල විතරයි කියලයි එයාල හිතුවේ. ඒත් අරෝගෙ සතුට තිබුණේ නදී ලඟ. ඒක අරෝගෙ අම්මාලා හිතුවෙත් නෑ. හිතන්න ඕනෙ උනේත් නෑ. සෑහෙන්න මුරකාවල් එක්ක අරෝ සෑහෙන කාලයක් නිවාස අඩස්සියේ හිටියා. එයාව බලන්න යන්න පුලුවන් එකම කෙනා උනේ මම විතරයි. ඒත් ඇන්ටි මාව අරෝ ලඟට යැව්වේත් දාහක් ප්‍රශ්න අහලා. මම එයාව බලන්න යන හැම වෙලාවකම නදීගෙ ලියුමක් නම් අරං ගියා. ඒත් අරෝට ලියුමකින් විතරක් සතුටක් ගෙනාවේ නෑ. ඉතිං මට පුලූවංනම් නදීව මගේ බෑග් එකේ දාගෙන එන්න ඒකත් මම කරනවා. මට අරෝ අඬනවා බලං ඉන්න බෑ. එයා හැමදේකින්ම කල කිරිලා. හැමදේම එපා වෙලා. හම්බ වෙන්න තියා කතාකරන්නවත් බැරි තරම් නීති දාලා ගෙදරින්. අරෝ කෝල් එකක් ගත්තත් අනිත් ලයින් එකෙන් අම්මා අහන් ඉන්නවා. පව්.... ආදරේ කියන්නේ වේදනාවක්. දෙයියන්ගේ පිහිටෙන් මට ඒ වේදනාව දැනුනේ නෑ. ඒත් අරෝගෙ වේදනාව මට දැනෙන්න ගත්තා. ඒ අතරතුර චමත් වගේම නදී කැම්පස් යන්න පටන් ගත්තා. නදී හිටියෙත් සතුටින් නෙවෙයි. චමත් කියනවා කන්න බොන්න හිටන් නදී අමතක කරලා දාලාලු හිටියේ. ඒ අතරතුර අරෝට ලොකුම ලොකු බිස්නස් පවුලකින් යෝජනාවක් ආවා. අම්මාලා හොරෙන්ම තීන්දු කරලා. අන්තිමට තමයි අරෝ දැන ගත්තේ. එතකොට එයාට අකමැති වෙන්න බැරි තත්වෙට පත් වෙලා. ඒක දැනගත්තාම නදී පිස්සු නටන්න ගත්තා. බොන්නත් පටන් ගත්තා. අපිටත් මොනා හරි කරන්න සිද්ධ උනා. අපේ යාලුවෝ වෙනුවෙන්. එතකොට චමතුයි නදීයි හිටියේ කැම්පස් එකේ දෙවන වසරේ. අපි එදා යාලූවෝ ඔක්කොම එකට එකතු උනා. ප්ලෑන් එකක් ගහන්න. නදීවත් අඬගහගෙන, චමත්, රොමේෂ්, ශෙහාන්, සුමා, සෙනූ අපි ඔක්කොමලා දැඩි තීරණයකට ආවා. එකතු වෙලා අපි අරෝවයි, නදීවයි සදාකාලයටම එකතු කරන්න අන්තිම තීරණය ගත්තා. වැඩිකල් නොගොස් අපි මේ හැම දෙයක්ම හොඳින් කර ගන්න සෙට් උනා. සමගිය බලය වෙයි කිව්වාලු. ඒත් අමාරුම වැඩේ පැවරිලා තිබ්බේ මට... ඇන ගන්නේ නැතුව ගානට දුන්නේ නැත්නම් ජීවිත දෙකකට වගකියන්න වෙන්නේ මට බව දැනගෙන මම ගේමට බැස්සා. මිෂන් ඉම්පොසිබල් වගේ....

ප්ලෑන් එක ගැන මම පස්සේ ලියන්නම්

කලටි පොල්....

නොදැක විඳින්න වෙන දුක තරම් දුකක් මම මීට කලින් විඳලා නෑ. ඒත් අපි මැනේජ්මන්ට් ඉගෙන ගත්තත් නැතත් අපි අපිව දකින්න වග බලා ගත්තා. ඒක එක පාරටම ඛ්‍රේක් ගැහුවා වගේ නැවතුනේ අපේ කෝස් එක මාස තුනෙන් ඉවර උනාට පස්සේ. අනේ අම්මෝ මේ මොනා වෙන්න එනවද කියල මට හිතා ගන්න බෑ.කොහොමහරි චමත් එන්න එන්නම මට නොදැක ඉන්න බැරි තත්වයට පත් උනා. එයාටත් එහෙමයිලු. මම දන්නේ නෑ අරෝයි කිව්වේ. මම අපේ අම්මට යන්තං එහෙං මෙහෙං හැම දෙයක්ම කියල තිබ්බා. දවසක් හදිස්සියේ අපේ ගෙදර බෙල් එක වැදුනා. මම ලාවට වගේ ජනෙල් රෙද්ද එහාට මෙහාට කරලා බැලුවා කවුද කියලා. හීනෙකින්වත් නොහිතපු විදියට චමත් ගේට්ටුව ලඟ. " මොකද ඔතනට වෙලා හැංගිමුත්තම් කරන්නේ. බලන්නකෝ කවුද ආවේ කියලා" අම්මා කියද්දී මාව උඩ ගියා තව්තිසාව පේන මානයට. " අම්මේ චමත්" මට එච්චරයි කියන්න පුලූවං උනේ. අම්මට බකස් ගාල හිනා ගියේ මගෙ මූන පුරා තිබ්බ දාඩිය දැකලා වෙන්න ඇති. අනේ අම්මපා මට කට නම් තියනව වක්කඩ වගේ ඒත් පොඩ්ඩ ඇත්නම් දාඩිය දානව බයට. " එහෙනම් යනවා මෙතනින් මම බලා ගන්නම් මොකටද මෙහෙ ආවේ කියලා" අම්ම හිනාව හංගන් කිව්වාට මට තේරුනා. මම අපේ අම්මාව දන්නවනෙ ඒ නිසා පොඩ්ඩක් එහාට ගිහින් ඇහෙන පේන තෙක් මානෙට වෙලා සිද්දිය බලාගෙන හිටියා. මොනා උනත් දැං මට දැක ගන්න පුලුවන්නේ.... අම්මා දොර ඇරියා. චමත් ඇතුලට ආවා. කිරි අප්පට අහල පහල ඔක්කොම බල්ලො බිරුවා වගේ මෙන්න චමත්ටත් දාඩිය දාලා. මට එතකොට නම් ජොලි. මම දන්නව මම නම් මහා නපුරුයි කියලා. " ඇයි?" අපේ අම්මා නම් ඇත්තටම රඟපාන්න යවන්න තිබ්බේ. තාත්විකව කරන්න ඕනෙ සීන් එක කරනවා. " ඇන්ටි මම මේ... මේ.... " මගේ නම අමතක වෙලා වගේ ඇදෙනවා. " ඇයි කවුද?" අපේ අම්මා නම් මාරයි. මූනෙ හිනා කඳුලක් නෑ. " දුලා ඉන්නවාද???? " අම්මා මම ආව පැත්ත බැලුවා. එයටවත් මාව පෙන්නෙ නෑ ඒ තරම් මම හැංගිලා " එයා මොකටද? මොකද්ද උවමනාව" මම දැක්කා එයා ටිකක් ලොකු හුස්මක් අරං පහලට දානවා " මම මේ එයාගේ පොලිටිකල් පොත ඉල්ලගන්න ආවේ. " කෑවනේ රස්සාව මම පොලිටිකල් කලාද? මූ ඒක වත් දන්නේ නෑනෙ. " මම දන්න තරමින් නම් එයා පොලිටිකල් කලේ නෑ" අම්ම නිකන් ඩෝන්ට් කෙයාර් එකේ කිව්වා. මට පණ යන්න හිනා. " ආ.. ඔව්මයි පොලිටිකල් කලේ අරෝනේ" ඔන්න තව පාරක් ඇන ගත්තා. අරෝ පොලිටිකල් කලෙත් නෑ. ඒකත් අම්මා දන්නවා. " එයාත් පොලිටිකල් කලේ නෑනෙ. " චමත්ට කෙල ගිලෙන්නෙත් නෑ. "එහෙනම් වෙන කෙනෙක් වෙන්න ඇති. කමක් නෑ.... සිංහල පොත ඉල්ල ගන්නත් ඕනෙ" ඔන්න ඔහොම දන්න දේ කිව්වනම් ඉවරනේ. අම්මා හිනාව තද කරගෙන මම හිටිය පැත්තට ආවා. " අන්න සිංහල පොත ගිහින් දෙනවා. පොතත් එක්ක අර කූල් ඩ්‍රින් එකක් හදාගෙන යනවා, පව් උගුර කටත් වේලිලා මගෙ ප්‍රශ්න වලට උත්තර දීලා" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියා. මම සිංහල පොත අරං ලඟට යනකං ඉන්න බැරුවා හිනා ගියා. චමත් මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඇහුවා " ඒ ඔයාලගෙ අම්මා නෙවෙයිද?" කියලා. මම කිව්වා "අම්මා තමයි ඒත් අද එයා ඔයාව හිතේ හැටියට බයිට් කලා" කියලා. මම හිතුවේ තරහ යයි කියලා ඒත් එහෙම උනේ නෑ.

සාමකාමී බව අස්සේ සිද්ධ වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්

ජීවිතේට කාටවත්ම නෑ මා.....


ප්‍රශ්නෙට උත්තරේ තිබුණේ මගෙ හිතේ. ඒකත් මහ පුදුම දෙයක්. කොහොමහරි ඔය අතරේ අරොයි මමයි තීරණය කලා මැනේජ්මන්ට් ඉගෙන ගන්න. එතකොට අපි දැනගෙන හිටියේ නෑ අපි විශ්ව විද්‍යලයට තේරිලා කියලා. මාර සීන් එක කියන්නේ අපි මැනේජ්මන්ට් යනවා කිව්වාම සුමා විතරක් නෙවෙයි නදීශත් එන්න තීරණය කලා. කොහොම හරි අපි යන අලුත් පන්තියේ පලවෙනි දවසේ මට ඇති උනේ මාර සතුටක් ඇයි කියන්න දන්නේ නෑ. චම්තුත් නදීශ එක්ක පන්තියට එන්න අරං. හිතට මොකද්දෝ ෆිට් එකක් ආවා කවදාවත් නැතුව." උඹට බඩ්ඩක් කියන්නද?" ඔන්න ආයෙමත් ලොකු රහසක් කියන්න වගේ අරෝ මගෙ කනට ලං උනා. " ඉතිං කියපං" නදීශලා ඇයි දන්නවද මැනේජ්මන්ට් කරන්නේ" මම හිනා වෙලා අරෝ දිහා බැලුවා. මම බබාද ඒක දන්නේ නැති, මොකද මේ දවස් වල නදී අරෝ අපායට ගියත් එනවා. " මොකද මම දන්නේ නැත්තේ?, මේ දවස් වල නදී නොයන්න උඹත් එක්ක ටොයිලට් විතරනේ" මම ඇඟට නොදැනී කිව්වා. මම කිව්වේ බොරු නෙවෙයි. " නෑ මෝඩියේ මේ සැරේ මම නිසා නෙවෙයි උන් ක්ලාස් එන්නේ" මට හිනා ගියා. " එහෙනම් ඉගෙන ගන්නද?" ඒක නම් කොහොමත් වෙන්න බෑ. " ඔය බලපංකෝ උඹටනම් මොලේ කලඳක් නෑ" පහුගිය දවසක උඹට චමත් හම්බ උනාද හංදියේදි" මම හොල්මන් උනා. ෂුවර් එකටම ඕක චමත් නදීශට කියලා නදීශ මෙයාට කියන්න ඇති. " ඔව්නේ... මට උඹට කියන්න අමතක උනා" අරෝ මා දිහා බලල හිනා උනේ නම් කිණ්ඩියට " උඹට අමතක උනාද? අමතක වෙලා වගෙ අමතක කලාද?" මේ මොකද්ද දැං මේකි කියන හරුපේ " හරි දැං ඒකෙයි මේකෙයි මොකද්ද තියන සම්බන්දේ?" අරෝ පොතක් අස්සෙන් කාඩ් එකක් දාපු කවරයක් අරං මට දුන්නා "මෙන්න මේක තමයි ඒකයි මේකයි අතර තියන සම්බන්දේ, මේක චමත් උඹට දෙන්න කිව්වා" මට නිකං සන්නිය හැදීගෙන එනව වගේ දැනුනා. අතපය ඇඟ ඇතුලෙන් වෙව්ලනවා. කාඩ් එක අතට අරගත්තා.මට යන්තමට පේනවා ඒ පැත්තේ සෙට් එකම මා දිහා බලගෙන ඉන්නවා වගේ. මට බලන්නත් ලැජ්ජයි. මම කාඩ් එක පොතක් අස්සේ දාගත්තා. " ඕක දැං බලපං..." මම තවත් පිස්සු උනා. "දැං....???" අරෝ මම ඒක දැම්ම පොත අස්සෙන් අරං මගේ අතේම තිබ්බා. පපුව පිටි මෝල ස්ටාට් කරලා වගේ. වස නෝන්ඩියයි අත පය ගැහෙනවා හැට පැනලා වගේ. කාඩ් එක ඇරියා. ඒකෙ මුලම තිබුනේ ටෙඩි බෙයාර් කෙනෙක් I Love You කියලා අල්ලන් ඉන්නවා.ඇතුල බලන්න මම ඒක ඇරියා. පුන්චි කවියක් ඒකෙ තිබ්බා
' පැනයක් ඇත මගෙ හද තුල කැකැරෙන
නොදැනෙයි අසන්නට ක්‍රමයක් බලගෙන
නුඹගැන සිතක් ඇත මා හද පුරාගෙන
තරහ නැතිව බහ දීපං කල් නොගෙන

මේ ප්‍රශ්නේට උත්තරේ 'හා' නම් මේ පැත්ත බලන්න. 'බෑ' නම් කාඩ් එක අරෝට දෙන්න. මට ගොඩාක් දුක හිතෙයි ඒත් තරහ නෑ' ඔන්න ඔහොම ලියලා තිබ්බා. මගේ පපුව ඉලෙක්ට්‍රික් මෙෂිමක් වගේ ඒත් මම හිතන්නත් කලිං මගේ ඇස් දෙක චමත් දිහාවට හැරුනා. එදා එයාගේ කටට ආව සංතෝසෙ නම් කියාගන්න මටත් බෑ. අනේ මන්දා මට නම් තේරුමක් නෑ කිසිම හිතිල්ලක් නැතුව මම ඇයි චමත් දිහා බැලුවේ කියලා ඒත් දැං මට හිතන්න කල් ඉල්ලන්න බෑ. මම උත්තරේ දීලා ඉවරයි.


නොදැක විදපු දුක ගැන මම පස්සේ ලියන්නම්



බඩුම තමයි

අවසාන ප්‍රතිපලය ගැන මම නම් ගොඩාක් සතුටු උනා. අරෝවයි නදීවයි දෙයියනේ කියල එකතු කලාම මටයි චමත්ටයි කටු කෑම නවත්තන්න වරම් ලැබුණා. කටු කෑවා කියන්නේ අපි කට්ට කෑවෙ සූප්පු කර කරනේ. දැං අපි උන් වෙනුවෙන් කටු කන්නේ නෑ. ඒත් මහ මොකද්දෝ අමුත්තක් හිතට ආවා. වෙන් වෙලා ඉන්නකොට කතා නොකර ඉන්නකොට. නිදා ගන්න බෑ, කන්න බොන්න බෑ. කරන කිසි වැඩක් කර ගන්න බෑ. අනුන්ගෙ ටින්කිරි ටින් කරන්න ගිහින් මට මේ සිද්ධ උන කිරි ටොපිය ගැන මට හිතා ගන්න බැරි උනා. කොටින්ම කියනවා නම් ශාරුක් අයියාවත් එපා උනානෙ. මරු සීන් එක කියන්නේ කාමරේ පුරා ගහගෙන තිබ්බ ශාරුක් අයියාගෙ ෆොටෝ ගලවලා රෝල් කරල මම අරං තිබ්බා. අපේ අම්මානම් හිතන්න ඇති මම දැනුම් තේරුම් වේගෙන එනවා කියලා. එක දවසක් අපේ ගෙදර අරෝ ආව වෙලාවේ මගේ කාමරේ දිහා බලල පුදුම උනා. " කෝ බං පින්තූර...?" මම රෝල් කරලා අල්මාරිය අස්සෙ ගහපු ටික පෙන්නුවා. " මට දැං මේවා ගහන් හිටියා ඇති කියලා හිතුනා බං". අරෝ හිනා උනා " උඹ දන්නවාද මමත් නදී හම්බ උනාට පස්සෙ මගෙ කාමරේ හිටපු අර බැක් ස්ට්‍රීට් බෝයිස්ලාගෙ පෝස්ටර් එක ගැලෙව්වා. ඇත්තමයි දැං මට නදීගෙ ෆොටො එකක් ඉල්ල ගන්න හිතෙනවා බං එල්ල ගන්න." "ඉල්ල ගනිං... පස්සෙ එල්ලගෙන එල්ලියන් කඹයක් දාල ෆෑන් එකේ අම්මලා දැක්කාම. " අපි දෙන්නම එදා හිනා උනා. ඒත් මට ප්‍රශ්නයක් මට ශාරුක් අයියා එපා උනේ ඇයි???? කොහොමහරි ඔය ප්‍රශ්නේ ඔහොමම මගේ හිතේ දවසෙන් දවස ප්‍රශ්න කරද්දි එක දවසක් අහම්බෙන් මට ටවුමෙදි චමත්ව හම්බ උනා. " මොකෝ මේ තනියම.... කෝ අරෝ?" මම අතේ තිබ්බ බඩු ටික අනිත් අතට මාරු කරන ගමන් හිනා උනා " මමත් ඒ ප්‍රශ්නෙම අහුවොත්... කෝ නදී කියලා" චමත්ටත් හිනා. " ඒකත් ඇත්ත.... ඌත් නෑනෙ.... දැං උන් අල්ල ගන්න හරි අමාරුයි. කෝ දෙන්න ඔය බෑග් එක මම අරං යන්නම්" එදා මගේ අතේ තිබ්බ බෑග් එක චමත් ගත්තේ බලෙන්ම. අනේ මන්දා මමත් ඉතිං දුනනානෙ. දැං ඉතිං අපි දෙන්නා ඉස්සරහට යනවා කතාවකුත් දාගෙන. ආගිය විස්තර, අරවා මේවා කතා කර කර. පස්සේ බස් හෝල්ට් එකට ආවට පස්සේ චමත් මගෙන ඇහුවා..." ආයේ කවදද හන්දි එන්නේ" කියලා. අනේ මන්දා අර හඳුන්පොතද මොකද්ද එක නැවතිලා ආයෙ පටන් ගත්තා. මට මේකාව දාල යන්න දුක හිතුනානෙ. " මම.... මම.... " මම ඉතින් එක වචනෙ කියවනවා. වෙන වචන දන්නේ නෑ වගේ. " ආයෙ හන්දි එනකොට මට කෝල් එකක් දෙන්න..." මම එක පාරටම චමත් දිහා බැලුවා. ඇත්තමයි මට ආයෙ හෙට හන්දි එන්න හිතුනා. " ඒ මොකටද?" ඔය ඉතිං මම හිතන දේ නෙවෙයි කියන්නෙ, ඕනෙ දේ නෙවෙයි අහන්නේ. " නෑ බඩු ටික උස්සලා දෙන්න" චමත් හිනාවෙලා එතනින් ගියා. අම්මපා මගේ කට නම්.... ඒත් එයා මම ගැන හිතනවා කියල හිතන කොටත් හිතට අමුතු මෙව්වා එකක් එනවා. අනේ ඒත් අපි හොඳ යාලුවොනෙ, එයා මගේ යාලුවෙක්, අන්න එහෙම හිතනකොට මුළු මූණම මැලවිලා යනවා. මාර සීන් එක තමයි. වැඩේ කියන්නේ මම මේ ගැන වචනයක්වත් කාටවත් කිව්වේ නෑ. හැමදේම ගිරවෙක් වගේ අම්මත් එක්ක කියන මම මේක කියන්නේ නැතුව හිතේ හංගන් හිටියානෙ. ඒත් ඇයි? මට ඒක ලොකු ප්‍රශ්නයක් උනා.

ප්‍රශ්නෙට උත්තරේ ගැන මම පස්සෙ ලියන්නම්

පාගලා හේ...

කැමැත්තට පෙර අකැමැතියි කියලා පෙන්නන එක ගෑනු අපේ හැටියක්. ඒකෙන් ලබන සතුට මහා ආත්මාර්ථකාමී එකක්. ඒත් ඒක කාවදාවත් අපිට තේරුනේ නෑ. නදීශ අරෝගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් කොච්චර නම් කටු කන්න ඇතිද? ඒත් ඇත්තම කියනවා නම් මම එයාගේ නොපසුබටින වීර්යය ගැන සෑහෙන්න සතුටු උනා." ජීවිතේ තරුණ කාලේ ..... එක සේ නොරැඳේ....." ඔන්න ඔහොම සිංදුවකුත් තියනවානේ. ඒ දෙන්නා නිසා කටු වල බාගෙට බාගයක් කන්න සිද්ධ උනේ මටයි, චමත්ටයි. ඒත් අර මස් කට්ට අන්තිමට සූප්පු කලේ නැත්තම් ගතියක් නෑ වගේ අපිටත් ඒක ගැන කරදරයක් තිබ්බේ නෑ. ඔය උදව් කෙරුවාව නිසා මමයි චමතුයි මාර විදියට ෆිට් උනා. ඉතිං බලන්නකෝ ඒකෙත් හැටි. ඔය අස්සේ අපේ ඒ ලෙවල් වල රිසල්ට්ස් ඇවිල්ලා තිබුණා. සතුටුයි කියන්නේ අම්බානකට අපි ඔක්කොම ආයෙ එලටම පාස්. රිසල්ට්ස් ආව දවසේ අපි පාටියක් දාන්න තීරණය කර ගත්තා. වැඩේ තියෙන්නේ අරෝ නදියට පැලෙන්න කැමතියි. ඒත් පෙන්නන්නෙ නෑනෙ. වෙලාවකට දෙන්න හිතෙනවා .... යාළුවා නිසා ඉවසනවා. ඉතිං පාටිය අපි අපිට හුරු පුරුදු තැනකම දාන්න කතා කර ගත්තා. ඔන්න ඉතිං අද නම් ඉන්නේ මම විතරක් නෙවෙයි. අරෝ, සුමා, සෙනූ, නදීශ, චමත්, රොමෙශ්, ශෙහාන්.. ගැන්සියම. සල්ලි එකතු කරලා අපි අල තෝසෙ ගෙන්න ගත්තා. හොඳටම බඩගිනි නිසා අපි ඉතිං කතාවක් නැතුවම කන්න පටන් ගත්තා. රොමේශ් ඉතිං ගොඩාක් කියවන්න දක්ෂයි, අනිත් උන් අහන් හිටියේ නැත්තත් කියවනවා. අර කකා ඉන්නකොට කියවද්දි තමයි මල පනින්නේ. වැඩේ තියෙන්නෙ මූ කියවද්දි අපි උගෙ කට දිහා බලන් ඉන්නත් ඕනෙ. සුමා එක පාරක් කිව්වා" මේ රොමේශ් කටවහගෙන කාපංකෝ බං කියලා" අහන පාටක් නෑ. මොනවදෝ රගර් මැච් එකක් ගැන තොරතෝංචියක් නැතුව කියවනවා. ඇත්තමයි මූ හොඳයි තොරණකට යවන්න. අපි අමාරුවෙන් අහගෙන කනවා..... ඒ අස්සේ අරෝ මට ලං වෙලා අහනවා " උඹ දැක්කද? නදීශ කන්නේ නෑ බං" මම නදීශ දිහා හොරෙන් බලල අහක බලා ගත්තා. ෆුල් ෆන් දන්නේ නැද්ද අපට, එහෙම සීන් එකක් යනවකොට, මටත් ඉතිං නිකං මෙව්වා වගේ.... මම නදීශ අරෝ දිහා හොරෙන් බලන හැම වෙලාවකම අරෝගෙ කකුල පෑගුවා. මේකිට හැඟීම් දැනීම් නෑ වගේ අනිත් එවුන් කියන ඒවට හිනා වෙවි ඉන්නවා. මම එක පාරක් බැරිම තැන අරොගෙ කකුල පාගලා ඇඹරුවා. ඒත් නෑනෙ මේකිට ගානක්වත්. බැරිම තැන මම ඇන්නා අරෝට " මේ උඹට ලදුරුද?" අරෝ මගෙ දිහා බැලුවේ ' මට මොකා' කියනවා වගේ.... " ඇයි බං මම කීසැරයක් පෑගුවද උඹෙ කකුල උඹට හැඟීම් දැනීම් නැද්ද?" අරෝ හොල්මන් උනා. " උඹ මගේ කකුල පෑගුවා....?" ඒකි කියන්නේ ඇත්ත මම පාගපු පෑගිල්ල මේකිට දැනුන නම් මෙතන දෙවනත් කරලා... මම ශේප් එකේ මේසෙ යට බැලුවා. හත් වලාමයි මම මේ දිව හපාගෙන පාගලා තියෙන්නේ නදීශගෙම කකුලනේ. කිණ්ඩි කියන්නේ අම්බානකට. මූණ බලන්නෙත් කොහොමද? අනේ අම්මපා මේ වෙලාවට හිතෙනවා අනේ මටත් සෙනූ වගේ ඉන්න තිබුණ නම් කියලා. ඒත් පව් කියලත් හිතෙනවා. නදීශගෙ කකුල තුවාල වෙලා ඇති. මේ ඇටි හරකත් කකුල එතනම තියා ගෙන හිටියානෙ..... මම වරදියි. මීට පස්සේ අනුන්ගෙ කඩ වල සීනි කිරන්න යන්නේ නෑ. ඒත් මම පාගලා තියෙන්නෙ ඒ කඩේ මුදලාලිගෙම කකුලනෙ. හොඳ වෙලාවට මේක නදීශගෙ කකුල උනේ හදිස්සියේ හරි චමත්ගෙ කකුල උනානම් වහකාලා.. බෙල්ලෙ වැල දගෙන කකුලෙ ගලක් බැඳගෙන මූදෙ පනින්න වෙන්නේ. අයියෝ ඉතිං මටමමයි වෙන්නේ.....

අවසාන ප්‍රතිචාරය ගැන මම පස්සේ ලියන්නම්