දෙපා වාරු නැත ඔබ හැර යන්නට

අහස උසට බලාපොරොත්තුත් එක්ක අපේ ජීවිත වල හොඳම කාලේ දවසින් දවස ගෙවිලා ගිහින්, ජීවිතයේ මල් මල් සමය වගේම ඉස්කෝලය කියන ජීවිතයේ කඩ ඉම සදහටම අපෙන් ඈත් වෙලා යනවා. අර බුද්ධාගම මිස් කිව්වා වගේ හැම දේම දවසක අපිට දාල ගිහින් ඇස් දෙක පියා ගන්න වෙනවා නම් ඉස්කෝලෙ දාලා යන එක මොකද්ද? ඒත් අනිත්‍ය මෙනෙහි කරලා මරණානුස්සතිය වඩන්න තරම් ගටක් අපට නෑ. අපි සම්පූර්ණයෙන්ම විභාගෙට ෆිට්ද නැද්ද කියලවත් දැනගෙන හිටිය නැති කාලෙ. අවුරුදු 13 තිස්සේ වද දුන්න ඉස්කෝලෙ දාලා යනවා කියලා හිතනකොටත්. සර්වාංගෙම පිච්චිලා යනවා. ආයෙ කවදා එන්නද? ඇත්තමයි මේ බිල්ඩින් වලට, මේ ගහකොල වලට පණ තියනවා නම් උනුත් කියයි අපිට යන්න එපා කියලා. ඒත් ඔක්කොමලා දාලා යන්න වෙනවා. සියඹලා ගහ විතරයි අපේ මතක සටහන් එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඒ විනය කමිටුවට හොරෙන් සියඹලා ගහට ගහපු ඩෙස් කෑලි පුටු කෑලි. හිතේ තියන අම්බානක දුක උනත් සියඹලා ගහට කියලා අඬන්න අපි පුරුදු වෙලා හිටියා. කොහොම උණත් ඉස්කෝලෙ අන්තිම දවස අපිට නොදැනීම ළඟට ආවා, ඒ අගෝස්තු නිවාඩු දෙන දවස. ඊට පස්සේ අපිට ඉස්කෝලෙ එන්න වෙන්නේ විභාගෙට. කවදාවත් ආයෙ එකට වල බහින්න හම්බ වෙන්නෙ නැති පන්තිය දිහා බලන්න දුකේ බෑ. මිස්ලා උනත් අපි ඉස්කෝලෙ දාල යනවට ගොඩාක් දුක් උණා. ඒක එයාලගෙ හැටියක්. අවුරුදු 13ක් තිස්සේ අපිව හදා වඩා ගත්තා අම්මලා වගේ එයාලත් අපේ වෙන් වීම ගැන, තව අනාගතය ගොඩ නගා ගැනීම ගැන ගුරුහරු කම් අන්තිම දවසෙත් අපිට දුන්නා. අනේ අපි කිව්ව දේවල් කරපු දේවල් වලට ඒ කකුල් අල්ලලා වැඳගෙන කල්පයක් හිටියත් මම හිතන්නේ නෑ අපේ පව අපිට ගෙවන්න පුළුවං වෙයි කියලා. ඒත් දෙයියනේ ඒ හැම වරදකටම ඒ වන කොටත් එයාල සමාව දීලා ඉවරයි. ඉස්කෝල ජීවිතේ අවසාන පැය කීපය අපි ගෙව්වේ කඳුලු ටොන් ගනන් හලමින්. එකෙක් දෙන්නෙක් නෙවෙයි මුළු පන්තියම. මට දැනුනේ මේ පංතියේ බිත්ති හතරත් අපිත් එක්ක අඬනවා කියලා. අර බලි ඇන්ඳ කලූ ලෑල්ලත් අඬනවා වගේ. මේ ඩෙස් පුටු.... හැම එකම. මම ගොඩාක්ම අඬන්න ඇත්තේ එදා තමයි. මතක ඇති කාලෙකට. කොහොමහරි ඉස්කෝලෙ අරෙන්න ඔන්න මෙන්න තියනකොට අපේ ඇඬිල්ල සෑහෙන්න වැඩි උනා. මල ගෙයක් වගේ " දෙපා වාරු නැත ඔබ හැර යන්නට" කියල බෝඩ් එකෙත් ලියලා. සුමා අඬන එක අස්සෙන් පන්තියට අහෙන්න කෑ ගැහුවා." මෙහෙම අඬලා අඬලා මේක දාල යන්න බෑ... අපි හිනා වෙලා දාල යමු බං" මම නම් ඒකට සම්පූරණයෙන්ම එකඟයි. ඒත් මේ ඉලව් කඳුලු නවතින්නේ නැති හැටි.
" සිංදුවක් කියමු" මහේශිගේ කතාවට අපි ඔකොම එකඟ උනා. ඇත්ත මෙච්චර කාලයක් තිබ්බ ෆන් එක අන්තිම මිනිත්තු කීපයදි නැති කර ගන්න ඕනේ නෑනෙ. අපි සිංදුවක් පටන් ගත්තා. "
පුන්සඳ වගේ ...... දිලෙන්නා
...... තමයි අපේ ඉස්කෝලෙ
...... කෙල්ලෝ ප්‍රීති ගීත ගයන්නා
.........වම ඩාන්ස් කරන්නා" අපි ඩෙස් වලට තට්ටු කර කර සිංදු කියනවා. අද අපිව කවුරුවත් නවත්තන්න ආවේ නෑ. මුළු ඉස්කෝලෙම දන්නවා අපි මේ දුකට කියන සිංදු කියලා. ඒ අතර අර පුරුද්දට වගේ අපේ පංතියේ ෆිට් එකක් ලඟ තිබ්බ වතුර බෝතලයකින් වතුර තව එකෙක්ගෙ ඇඟට ගැහුවා.... තරහකට නෙවෙයි ජොලියට. පන්තිය හිනස්සන්න. නැත්නම් සිංදු කිව්වෙ මල හොල්මන් නැගිටලා වගේ. වැඩේ නැගලා ගියා. අපි බකට් වෙන්න පටන් ගත්තා. පානීය ජලය එහාට යනවා, මෙහෙට යනවා. අපිත් කිසි ගානක් නැතුව නානවා. එහාට දුවනවා. මෙහාට දුවනවා, කෑ ගහනවා. දැං ඉස්කෝලෙත් අරෙන්න ළඟයි. කොහෙ ගියත් විනය කමිටුව අවසාන මොහොතෙත් ඉන්නේ අපිට රබර් ඇහැ දාගෙන නෙ. වතුර සෙල්ලම දැකලද කොහෙද විනය කමිටු මිස් කෙනෙක් අපේ පන්තිය ගොඩ බැහැලා. අපි දන්නවද ඕවා.. සුමා පංතියේ වෙන එකෙකුට ගැහුව මෙගා බොතලේක වතුර අර මිස්ගෙ ඔළුවෙ ඉඳං කකුල් දෙකට නෑවිලා. සෙල්ලම ඉවරයි. මිස්ට යකා වන්නම සිහි වෙලා. " ඉස්කෝලෙ ලොකුම ළමයි.... වැද්දෝ වගේ හැදිලා.... වතුර නාගෙන , මාවත් නෑව්වා.... එක්කෙනෙක් යන්නේ නෑ දැං ගෙදර.. ඔක්කොම නඟිනවා අර ස්ටේජ් එකට" ඒ පෙන්නුවෙ අපේ එළිමහන් රංග වේදිකාව. කට්ට අව්ව.... " ඔය ඇඳුම් වේලෙනකන් ඉන්නවා ඒකට නැගලා... පෝලිමට යනවා...." අපි පෝලිමට අර කට්ට අව්වේ කාටත් පේන්න හිටගත්තා. ඉස්කෝලෙ නංගිලා එහෙම අපි දිහා බල බලා ගියේ අයිෆල් කුළුන දිහා බලනවා වගේ. ඒත් අපිට ලැජ්ජාවක් ආවෙ නෑනෙ. තවත් මිනිත්තු කීපයක් හරි මේ කට්ට අව්වේ අපේ පන්තිය එකට ඉන්න ලැබීම ගැන අපි සෑහෙන්න සතුටු උනා

ඒ ලෙවල් ඉවර වෙලා උන වැඩ ගැන මම පස්සේ ලියන්නම්

0 comments:

Post a Comment